Tuesday, October 25, 2016

ඉක්කා එක්ක ගාලු යන්න පෙර ඉක්කාව ගැන දැනගමු...

ඉක්කා නැත්තම් ඉක්කා ගැසිම ගැන යාලුවෝ හොදට දන්නවානේ. පොඩි කාලේ ඉදලා කි සැරයක් නම් ඉක්කා ගහන්න ඇත්ද? 
අද ලිපිය ඉක්කාව සම්බන්දවයි.





  ඉක්කාව (Hiccup) ඇතිවන්නේ මිනිස් සිරුරේ උදරය හා උරස් කුහරය අතර පිහිටා තියෙන මහා ප්‍රචීර පේශීයේ සිදුවන අක්‍රමවත් සංකෝචනය නිසායි. 

මහාප්‍රාචීර පේශීය(Diaphragm) අපගේ සාමාන්‍ය ආස්වාස ප්‍රස්වාසය සදහා වැදගත් වන පේශියක්. මෙම පේශීයේ අනිච්චානුගව නැතිනම් ඉබේම සිදුවන සංකෝචන හා ඉහිල් විම නිසා පෙනහලු වාතයෙන් පිරිමට හා ඉවත් කිරිමට උපකාරි වෙනවා. 



වේගයෙන් ආහාර ගැනීම, වේගයෙන් පාන වර්ග පානය කිරිම, ක්ෂණික බය හා සතුට වැනි උද්වේගකාරි ක්‍රියා වැනි හේතුන් නිසා මහා ප්‍රාචීර පේශිය උත්තේඡනය වි එහි සංකෝචනය හා ඉහිල් වීම අක්‍රමවත් වෙනවා. මේ හේතුව නිසා  මහා ප්‍රාචීර පේශිය එත්වරම සංකෝචනය විමෙන්   විශාල වායු පරිමාවක් පෙනහලු තුලට ඇතුල් වෙනවා. මෙසේ එක්වර ඇතුල් වන විශාල වායු පරිමාව මගින්, ස්වාසරාලයේ අැති ස්වර තන්තු කම්පනය වීමෙන් ඉක්කාවට ආවේණික ‘‘හික්‘‘ හඩ ඇතිවෙනවා.

අධික ලෙස කාබනික පානයන් (සෝඩාබීම වර්ග) පානය කිරිම නිසා ඒවායේ අන්තර්ගත කාබන්ඩයොක්සයිඩ් වායුව ආමාශය තුල රැස්ව, ආමාශය විශාල වෙනවා.  ආමාශය විශාලව, ඊට ඉහලින් ඇති මහාප්‍රාචීර පේශියේ ගෑවි, එය උත්තේජනය කිරිමෙන් ඉක්කා ඇතිවිය හැකියි.

බොහෝවිට ඉක්කාව ඉක්මනින් යථා තත්ත්වයට පත්වුයත්, දීර්ඝකාලිනව ඉක්කාවක් පවති නම් වෛද්‍ය උපදෙස් ලබාගැනිම නුවණට හුරුයි. ඒ, ඉහත හේතුන්ට අමතරව,
  • ස්නායු පද්ධතියේ ගැටලු
  • වකුගඩු වල ගැටලු
  • පෙනහලු වල ගැටලු
  • අඝාතය, ද  බලපානවා.  


කුඩා ලමුන්,විශේෂයෙන්ම කිරිබොන ලදරුවන් අතර ඉක්කාව බහුලයි. ලදරුවෙක් උපත ලැබිමට පෙරාතුව මවුකුසේ සිටියදිද ඉක්කා ඇතිවන බව සොයාගෙන ඇත.

ජලය නොකඩවා පානය, හුස්ම නොගෙන සිටිම වැනි ක්‍රියා අප ගෙදරදිම ඉක්කාව සමනය කරගැනිමට අනුගමනය කරනවා.

ලොව වැඩිම කාලයක් ඉක්කා ගැසිම වෙනුවෙන් ගිනස් ලෝක වාර්ථාවට හිමිකම් කියන්නේ, වසර 68ක් පුරාවට  ඉක්කාවක් පැවති අැමරිකානු ජාතික ‘‘චාල්ස් ඔස්බෝන්‘‘ හටයි. 

ඔස්බෝ්න්


ඉක්කාවත් ලේසි පහසු නැ නේද?

ප.ලි.
මේදිනවල අධ්‍යාපනික කටයුතු බහුල වීම හේතුවෙන් පෙර මෙන් නිතරම ලිපි පල කරන්න අවකාශය නැ. නමුත් පුලුවන් හැම වෙලාවෙම ඔයාලාට ලිපියක් රැගෙන එනවා.  

- රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය
  

No comments:

Post a Comment