Thursday, May 25, 2017

හිම කදු අතරේ සැගවුණු බීජ බැංකුව

Svalbard, ඔයාලා මේ ප්‍රදේශය අහලා තියනවාද? ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති.
උත්තර ධ්‍රැවයට ආසන්නයේ පිහිටි හිමෙන් වැසුනු මෙම කොදෙව්වේ ලෝකෙටම වටිනා බැංකුවක් තියනවා.
නමුත් ඒ බැංකුවේ සල්ලි නම් නෑ.




දැන් අත් දිගට දාලා ටයි දාලා කෝට් ඇදලා කරන ලොකු ලොකු රස්සා තිබුනාට, අපි හැමෝගෙම මුතුන් මිත්තන් ගොවිතැනින් ගොවිකමින් රැකුණු මිනිස්සු. දඩයම් යුගයෙන් ගොවි යුගයට එලැබෙත්ම මිනිස් ශිෂ්ඨාචාර වල සැලකිය යුතු වෙනස්කම් සිදු වුනා. වතුර ඇති තැනකට එක්වෙලා, ගොවිතැන් බතක් කරගෙන ජිවත් වුන ඔවුන්ගේ අවශ්‍යතා උවමනා සරලයි. 



මිනිසා කියන්නේ කුතුහලයෙන් පිරි චරිතයක් නොවැ. හැමදේම හොය හොය අලුත් අලුත් නිර්මාණ කරලා ලෝකෙම වෙනස් කරන්නට මිනිසා සමත් වෙනවා. කෘෂි ආර්ථිකයෙන්  කාර්මාන්ත හා සේවා ආර්ථිකයකට මාරු වෙනවා. 

මේ ලෝකය වෙනස් වන වෙනස්විල්ල ගැන බය හිතුනු පිරිසකුත් හිටියා. කවදාහරි ලෝකය විනාස වෙයිද? හිතාගන්න බැරි තරම් දරුණු ව්‍යාසනයක් සිදුවෙයිද? මෙහෙම නොසිතුනා නෙවෙයි.

කවදා හරි ලෝකය තුල සැලකිය යුතු තරම් ව්‍යසනයක් සිද්ධ වුනොත්, දැනට පවතින පද්ධති ඔක්කෝම බිද වැටෙනවා. ලොවම අදුරට වැටෙනවා. මොනා නැතත් කන්න දෙයක් ඉතුරු වෙන්න එපායැ. ලෝක විනාසයක් හරි, ඊට සමාන දරුණු ව්‍යසනයක් හරි සිද්ධ වුනොත් ගස් වැල් විනාස වන එක අහන්න දෙයක් නැනේ. ඉතින් මේ ඇතිවන  අර්බුදයට මොකක්ද කරන්නේ?




Svalbard Global Seed Vault පිහිටා තියෙන්නේ නොර්වේ රටට අයත් උත්තර ධ්‍රැවය ආසන්නව පිහිටා තිබෙන  Spitsbergen නම් දූපතේයි. 

බීජ බැංකුව ආරම්බ කරන්නේ 2008 වසරේදියි. පර්වතයක් තුල මීටර් 120ක් ඇතුලතින් පිහිටි මෙම බැංකුව අදවන විට ලෝ පුරා විවිධ රටවල් වලින් ලැබුණු බීජ මිලියන 4.5ක් පමණ ගබඩා කර තබාගන්නවා. මේ බීජ අතර අද වන විට වදවී යෑමේ තර්ජනයට ලක්වූ බීජ වර්ග රාශියක්ද ඇතුලත්.



බැංකුව වෙත ලැබෙන බීජ, විශේෂිත ඇලුමිනියම් කවර තුල බහා ගබඩා කිරිම සිදුකරනවා. ගබඩා තුල උෂ්නත්වය සෙල්සියෙන් -18 ත් -20ත් අතර පරාසයේ පවතිනවා. කාර්මික දෝශයක් නිසා හෝ මොනයම් ගැටලුවක් වුනත්, මෙහි උෂ්නත්වය සෙල්සියෙන් -4 කට වඩා වැඩි වෙන්නේ නම් නැ. ඒ නිසා බීජ ගැන ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නැ.




අපේ රටේ ඉතා ඈත අතීතයේ වී වර්ග ඉතා විශාල ගනනක් තිබුනු බව සදහන් වෙනවා. නමුත් අද වන විට එම පැරැණි වී වර්ග බොහෝමයක් වදව ගොස් අවසන්. වී වර්ග පමණක් නෙවෙයි, බොහෝ එලවලු පලතුරු වල තිබු විවිධ ප්‍රභේද බොහෝමයක්ම අද වන විට දකින්න ලැබෙන්නේ නැ. තෝරගත් එකම ප්‍රභේදයක් දිර්ඝකාලිනව වගාකිරිම නිසා එම ශාකයේ අනෙකුත් ප්‍රභේද වලට නිසි අවධානයක් නොලැබිමෙන් අභාවයට යාම සිදුවෙන්න පුලුවන්.

මොන්සැන්ටෝ වැනි බහුජාතික සමාගම් විසින් විසින්ද ජාන වෙනස් කරන ලද හා නවීකරණය කරන ලද බීජ නිපදවනවා. මේ හේතුවෙන්ද ස්වභාවික ප්‍රභේද අභාවයට යනවා. ‘‘මොන්සැන්ටෝ‘‘ ලාගේ වැඩ ගැන නම් වෙනම ලිපියක් ලියන්න පුලුවන් තරම් කරුණු තියනවා. ඒතරම්ම........



මේ නිසා දැනට ලොව ඉතිරිව පවතින ශාක වර්ග වල බීජ  අනගාතය වෙනුවෙන් රැකගැනිම අනිවාර්ය කරුණක්. එම කාර්යභාරයට Svalbard Global Seed Vault අතගසා අවසන්.

Svalbard බැංකුවට ලොව නන් දෙස ඇති රටවල් වලින් බීජ සාම්පල ලැබිලා තියනවා. ඉරාකය, සිරියාව, උතුරු කොරියාවෙන් පවා ලැබුණු බීජ සාම්පල මෙහි පවතිනවා. 

බීජ බැංකුවේ වටිනාකම පසක් කල එක අවස්ථාවක් මෙන්න,

සිරියාවේ කාලයක් තිස්සේ දරුණු සිවිල් ගැටුම් පවතිනවා. සිරියාවේ තිබුණු බීජ ජාන ආරක්ෂාකල බැංකුවක් ගැටුම් නිසා විනාශයට පත්වුනා. නමුත් සිරියාව විසින් ඊට කලින් Svalbard බීජ බැංකුවට බීජ සාම්පල එවා තිබුනා. ඒ නිසා Svalbard බැංකුවෙන් තමන් ලග තිබුනු බීජ නැවත සිරියාවට ලබා දුන්නා. ඒ බීජ උපයෝගි කරගෙන සිරියාව, නව බීජ නිපදවනවා කියලා ආරංචියි.





2 comments:

  1. අද ලෝකයේ කොහෙ බැලුවත් අස්ථීරයි
    බිඳ ගෙන වැටෙන නිශ්චිත නැති පරිසරයයි
    හොඳ ම බීජ රැකගෙන ඇති එක කදිමයි
    අද නැතිවුණත් වටිනාකම ඉදිරියටයි......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ තවත් අනගි පදවැලක්.
      ස්තුතියි මිතුර

      Delete