Thursday, August 3, 2017

මනුලොව ෆ්‍රැන්කන්ස්ටයින් - ජියෝවානි ඇල්ඩිනිගේ පරික්ෂණ (Giovanni Aldini)

කොටස් බද්ධකර විරුපී ප්‍රාණින් බිහිකරන වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් කතා පුවත් ගැන ඔබ අසා ඇති. චිත්‍රපටි එහෙමත් නිකුත් වුනානේ.
 නමුත් ඔයාලා දන්නවාද, මේරි ශෙලි අතින් ෆ්‍රැන්කන්ස්ටයින් චරිතයට සමාන සැබෑ ලෝකයේ හිටපු විද්‍යාඥයෙක් ගැන?




1818 වසරේදි මෙරි ශෙලි විසින් Frankenstein; or, The Modern Prometheus කෘතිය සාහිත්‍යයට මෙන්ම පාඨකයාට නවමු අත්දැකිමක් විය. එහි එන ප්‍රධාන චරිතය වන වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් යනු මළසිරුරු සමග ගණුදෙනු කරන අමුතුම විද්‍යාඥයෙකි. ත්‍රාස කතාවක් ලෙස හැදින්වූවද මෙය විද්‍යා ප්‍රබන්ධයකට නෑකම් කියයි. 

ෆ්‍රැන්කන්ස්ටයින් විදුලිය හා ශරිර කොටස් එකතු කරමින් සෙල්ලම් දැම්මේ පොතේ වුනාට, ඒ වකවානුව වන විට ඉතාලි ජාතික විද්‍යාඥයකු යුරෝපය පුරාම මිට සමාන පරික්ෂණ මාලාවක් පවත්වමින් සිටියා.

ඔහු නමින්,

ජියෝවානි ඇල්ඩිනි (Giovanni Aldini)



ක්‍රිව 1762 අප්‍රේල් මස ඉතාලියේ සුන්දර මෙන්ම අධ්‍යාපනයෙන්ද නිම්වළලු පුළුල් කල ග්‍රාමයක් වන බොලොංඤ්ඤා  හීදි ඇල්ඩිනි උපත ලැබිය. කුඩා කල සිටම ඔහුගේ නෙත ගැටුනේ විද්‍යාව යැයි කීම අතිශෝක්තියක් නොවේ.

තම මාමා වූ ලුයිජි ගැල්වානි (Luigi Galvani) යනු ජෛව විදයූතය පිලිබදව පරික්ෂණ කල පතාකයෙකි. ඔහු විසින් සත්ත්ව පටක, පේශි හා අවයව විදයූතයට දක්වන ප්‍රතිචාර පිලිබදව පරික්ෂණ මාලාවක් සිදුකලේය. මේ අතුරින් ඔහු ගෙම්බන්ගේ පාද යොදාගනිමින් කල පරික්ෂණ බොහෝ ප්‍රසිද්ධියක් උසුලයි. 

ගැල්වානි ගේ පරික්ෂණ

මියගිය ගෙම්බන්ගේ පාද වලට බාහිර  විද්‍යුත් ආරෝපණයක් ලබා දුන් විට ඒවා පණඇත්තා සේ ගැසිමට ලක්වේ. බාහිර ආරෝපණ හේතුවෙන් පේශිවල ඇතිවන සංකෝචනය නිසා මෙය සිදුවේ. මෙවැනි පරික්ෂණ නෙත ගැටුනු ඇල්ඩිනි නිරායාසයෙන්ම විද්‍යාව වෙත නැඹුරු විය.

ක්‍රිව 1789 දී ගැල්වානි දෙනෙත් පියාගැනිමත් සමග, ඇල්ඩිනි බොලොංඤ්ඤා සරසවියේ භෞතික විද්‍යාව මහචාර්ය ධුරයට පත්වේ. නව ධුරයත් සමග තමන්ගේ පරික්ෂණ වඩාත් වේගවත් කිරිමට ඇල්ඩිනිට හැකිවිය.

ගැල්වානි පරික්ෂණ කලේ ගෙම්බන් යොදාගෙනයි. ඉදිරි පියවරක් තැබිමට බලාපොරොත්තු වූ ඇල්ඩිනි අනෙක් සතුන්ද විද්‍යුතයට දක්වන ප්‍රතිචාර සෙවිමට උත්සුක විය. ඒ අනුව ඔහු විසින් නව පරික්ෂණ මාලාවක්ම සිදුකල අතර, ඒවා හුදෙක්ම විද්‍යාගාරයකට සිමා නොවී, ජනතාව අතරට ගොස් පැවැත්වීමටද ඔහු බියවුයේ නැත. ඇල්ඩිනිගේ පරික්ෂණ වලදි ජනතාව නිරන්තරයෙන් සාක්ෂිකරුවන් විය.





බල්ලන්, ගවයන් , අශ්වයන් ගේ මළසිරුරු පරික්ෂණ සදහා යොදාගත් අතර, ඒවාටද බාහිර විදුලි ආරෝපණ ලබදෙමින් චලනයන් නිරික්ෂණය කරන ලදි. මළ ගවයකුගේ හිසකට ආරෝපණයක් ලබාදිමේදි හිසේ ඇස් විවෘත වී මුඛය ඇරුණු ආකාරය ගැන ඔහු විස්තර කර ඇත. මෙම ප්‍රදර්ශණ සමග ඔහු යුරෝපය පුරාම සංචාරය කරන්නට විය.  එවකට අද මෙන් දියුණු විදුලි කෝෂ නොමැති වු අතර, සරල උපක්‍රම මාර්ගයෙන් සාදාගත් විදුලි කෝෂ භාවිතා කලේය.

සත්ත්වයන් සමග කල ගණුදෙනු වලින් තවත් ඉදිරි පියවරක් තැබු ඇල්ඩිනි, මනුසතා ද තමන්ගේ පරික්ෂන සදහා යොදගැනිමට තිරණය කලේය. මානව සිරුරු ඇසුරින් කල පරික්ෂණ අතුරින් වැදගත්ම පරික්ෂනය වන්නේ ‘‘ජෝර්ජ් ෆෝස්ටර්‘‘ ගේ සිරුරු ඇසුරින් ඇල්ඩිනි කල ඉදිරිපත් කිරිමයි.



ෆොස්ටර්  පරික්ෂණය
1803 වසරේදි තමන්ගේ බිරිද හා දරුවා ලන්ඩනයේ ඇළක දියේ ගිල්වා මැරිමේ චෝදනාවට වැරදිකරු වු ජෝර්ජ් ෆෝස්ටර් හට මරණ දඩුවම නියම විය. ඒ අනුව එල්ලා මරා දැමු ෆෝස්ටර් ගේ සිරුර ඇල්ඩිනි වෙත ලබාදුනි.

ඇල්ඩිනි ගේ පරික්ෂණ නැරඹීමට විශාල පිරිසක් නිව්ගේට් රාජකීය ශල්‍යවෛද්‍ය ශ්‍රාස්ත්‍රාලයට පැමිණෙන ලදි. කිසිදා සිදුව නැති පරික්ෂණයක් සිදුවීමට ඇත්තේ මොහොතකි. සැවොම කුතුහලයෙන්. ඇල්ඩිනි තම පරික්ෂණ සිදුකරන්නට විය. මේ පිලිබදව එවක  ප්‍රවෘත්ති පත්‍ය සදහන් කල ඇත්තේ මෙසේය,

ඇල්ඩිනි සන්නායක දඩු ෆෝස්ටර්ගේ මුහුණේ ස්පර්ශ කිරිමත් සමග, හකු විවෘත වී ගැස්සෙන්නට විය. මියගිය පුද්ගලයාගේ ඇස් විවෘත වූ අතර, මුහුණේ භයංකාර ස්වරුපයක් මතුවිය. පේශි දරදඩු වුවා සෙ පෙනේ. දකුණු අත එසවුනු අතර පාදයේද යම් චලන සිදුවිය.

බොහෝ දෙනෙකු ෆෝස්ටර් නැවත ජිවිතය ලද්දා යැයි සිතන්නට ඇත. එමෙන්ම ඇතමෙකු ක්ලාන්ත වි ඇද වැටි ඇත. මෙම විද්‍යාත්මක ප්‍රදර්ශණය හේතුවෙන් ඇල්ඩිනි මහත් ප්‍රසිද්ධියට පත්විය.

ඇල්ඩිනි හුදෙක්ම මෘත දේහ වලට විදුලිය අල්ලමින් සිටියේ නැත. මානසික රෝග වලට ප්‍රතිකාරයක් ලෙස විදයූත් කම්පන භාවිතා කල හැකි ආකාරය පිලිබදවද ඔහු පරික්ෂණ කලේය. විදයූතය වෛද්‍ය ප්‍රතිකාර සදහා භාවිතා කලහැකි ආකාර සෙවිමට උත්සහ කලේය.

ඔස්ට්‍රියානු අධිරාජ්‍යයෙන් නයිට් නාමක්ද ඇල්ඩිනි වෙත හිමිවිය. පසුව ඉතාලියේ මිලානෝ හී කවුන්සිලර් ධුරයක්ද  හිමිවිය. ක්‍රි.ව 1834 දී ඇල්ඩිනි මියයන විට තම සියලුම ධනය බොලොංඤ්ඤා විශ්ව විද්‍යාලයේ උන්නතිය වෙත පවරා තිබිණි. එමෙන්ම ඔහු විවර කල මාර්ගයේ ගමන් කල පසුකාලිනයන් විසින් වැදගත් සොයාගැනිම් රැසක් සිදුකලේය.

- රොෂීන් ප්‍රනාන්දු

සබැදි ලිපි

පලමු බැටරිය බැග්ඩැඩ් බැටරියද?
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් මිනි මැරීම


No comments:

Post a Comment