Tuesday, March 13, 2018

කැක්කුම් නස්නා රතු එළි විජ්ජා

එදිනෙදා ජිවිතයේදි ඇතිවන මාංශ පේශි කැක්කුම් වලින් දැනෙන වේදනාව ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. ක්‍රීඩා කිරිමෙන් හෝ බර වැඩ හා තවත් හේතු නිසා  ඇතිවන පේශි වේදනා නිසා දෛනික කටයුතු වලට බාධා ඇතිවනවෙනවා. 
පේශි වේදනා ඇතිවූ අවස්ථාවල වේදනාව සමනයට රතු එළියක් සහිත විශේෂිත විදුලි පහනක් භාවිතා කරනවා ඔබ දැක ඇති. මේ එලියෙන් වේදනාව අඩු වෙන්නේ කොහොමද?
සරලව කතා කරමු.





විද්‍යුත් චුම්බක තරංග වර්ගයක් වන අධෝරක්ත කිරණ (Infrared), දෘෂ්‍ය ආලෝක තරංග වලට වඩා සංඛ්‍යාතයෙන් අඩුවන අතර තරංග ආයාමයෙන් වැඩිය. අයණීකරක තරංගයක් නොවේ. එනම් පරමාණු හෝ අණු අයනීකරණය කිරිමට අධෝරක්ත කිරණ වලට හැකියාවක් නොමැත. එය වෛද්‍ය විද්‍යාත්මක භාවිතයන් හිදි වැදගත් වන ලක්ෂණයකි.
එමෙන්ම  තාප සංක්‍රමණය කිරිමට අධෝරක්ත කිරණ දායක වේ.

දේහයේ පටක සමග ගැලපුම් ඇති අධෝරක්ත කිරණයේ තරංග ආයාමය හේතුවෙන් අවහිරයකින් හෝ වර්තනයකින් තොරව සාපෙක්ෂව වැඩි දුරක් දේහය තුලට විනිවිද යැමට අධෝරක්ත කිරණ වලට හැකියව ඇත.
මෙසේ සමේ චර්මයෙන් ඔබ්බට පේශි හා පටක දක්වා විනිවිද යන කිරණ මගින් කායික විද්‍යාත්මක වෙනස්කම් කිහිපයක්ම සිදුකරිමට දායක වේ. 



පේශි වේදනාව ඇතිවිමට හේතු ලෙස පේශි අධික වෙහෙස,පේශි ආතතිය, පේශිමත ඇතිවන දෘෂ්‍යමාන හෝ අන්වීක්ෂීය මට්ටමේ තුවාල  වැනි කරුණු සැලකිය හැක.

අධෝරක්ත කිරණ මගින් රුධිර නාල අන්තශ්චදයෙන් නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීමට දායක වන එන්සයිම මත ක්‍රියාකර නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීම වැඩිකරයි වේ. නයිට්‍රික් ඔක්සයිඩ්, රුධිර නාල මත ක්‍රියාකර ඒවා ප්‍රසාරණය/මහත් කරයි.(vasodilation). මෙමගින් පේශියේ රුධිර ගලනය වැඩිකරයි. එමගින් පේශිය වෙත ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය, පෝශක ප්‍රමාණය(අයන වර්ග,පේශිතැනිමට දායක වන ප්‍රෝටින වැනි...) ද ඉහල යයි.රුධිර ගලනය වැඩිකිරිම නිසා ප්‍රමාණවත්ලෙස ප්‍රෝටින පේශියට ලගාවිම නිසා තුවාල වූ  තන්තු  ප්‍රකෘති කිරිමට ද උපකාරි වේ.

අධෝරක්ත කිරණ වල බලපෑමෙන් කොලැජන් හා ඉලාස්ටින් තන්තු වල නම්‍යතාව වැඩි වේ. සන්දි වල තදබව නැතිකරයි. පේශි සමග බැදිඇති කන්ඩරා,පේශිවල ආස්ථරණ ලිහිල් කරයි.   මේ නිසා පේශියට ඉහිල් බවක්ද ලැබේ.

පේශියෙන් නිපදවූ බහිශ්‍රාවි ද්‍රව්‍ය මෙන්ම ‘‘වේදනාව සංවේදන දැනිමට‘‘  දායක වන රසායනිකයන් ලෙස හැදින්වෙන ‘‘substance p‘‘ වැනි පෙප්ටයිඩ වර්ග පටකයන්ගෙන් ඉක්මනින් ඉවත් කිරිමටද ඉහත ක්‍රියාව වැදගත් වේ.

ස්වේද නිපදවීම උත්ප්‍රේරණය කර අහිතකර විෂ හා බහිශ්‍රාවි අපද්‍රව්‍ය ඉවත්කිරිමට උපකාරි වේ. 

පේශින්ගේ ක්‍රියාකාරිත්වට සැලකිය යුතු ශක්තිය අවැසි වේ. අධෝරක්ත කිරණ, පටකයේ මයිටොකොන්ඩ්‍රිය මත ක්‍රියාකර සෛලීය ස්වසනය වේගවත් කර ATP නිපදවීම වේගවත් කිරිමට දායක වේ.
ATP මගින් ශක්ති අවශ්‍යතාව සපුරයි.


අධෝරක්ත කිරණ මගින් පටක කරා ප්‍රචාරණය කරන තාප ශක්තිය මගින් වේදනාවට එදිරිව ප්‍රතිගාමකබලයක් ඇතිකරයි. මෙයද වේදනා නාශන ක්‍රියාවට දායක වේ.

එමෙන්ම ප්‍රමාණවත් තරමින් පෝෂක පේෂි පටක කරා ලගාවන විට, ස්නායු ප්‍රතිග්‍රාහක උත්තේජනය වීම නැවතිමෙන්  මධ්‍ය ස්නායු පද්ධතිය වෙත වේදනා ආවේග සම්ප්‍රේෂණය විම ද නැවති. මේ හේතුවෙන් වේදනාව දැනිම ක්‍රමයෙන් අඩුවේ. 

ඉහත ක්‍රියාහේතුවෙන් අධෝරක්ත තාප චිකිත්සාවේ උපකාරයෙන් වේදනාව අඩු වේ. 

- රොෂින් ප්‍රනාන්දු

4 comments:

  1. මේ ප්‍රතිකාරයෙන් අතුරු ආබාධ ඇති වෙන්නේ නැද්ද?

    ReplyDelete
  2. can you pl,explin Infrared light & ice bag treatmeat

    ReplyDelete
  3. නියමයි.... 👌👌👌👌

    ReplyDelete