Thursday, May 17, 2018

PET එක හරි, නමුත් Tracer??

මේ ලිපියට වස්තුබීජය වූයේ පසුගිය දා  PET ස්කැනරය සම්බන්දව සෞඛ්‍ය ඇමතිවරයා ඇතුලු පිරිසක්  සිදුකරනු ලැබු ප්‍රකාශ යි. PET  ස්කැනරය මිලදි ගත්තද ‘‘අයිසටෝප්‘‘ සම්බන්දව ගැටලුවක් පවතින බව ඇමතිවරයා සදහන් කලා.
මොකක්ද මේ වර්ණක කතාව? මෙහි වැදගත්කම කුමක්ද?
මේ ගැන සරල සිංහලෙන් ලියන්න හිතුනා.




වර්ණක, අයිසටෝප්.. කිව්වට ඉහත සංයෝගය හැදින්වෙන්නේ ට්‍රේසර් (tracer) නැතිනම් පොසිට්‍රෝන විමෝචක විකිරණශිලි නියුක්ලයිඩ යි.  මේ අතරින් ප්‍රකට ට්‍රේසර් එක 18F-Flurodeoxyglucose (F-FDG, FDG ලෙසද) හැදින්විය හැකියි. පැහැදිලිකිරිම දිවෙන්නෙත් මේ ට්‍රේසරය මතයි.



ෆ්ලොරින් (F) මූලද්‍රව්‍ය ගැන ඔබ අසාඇති. එහි ස්කන්ධ ක්‍රමාංකය 19 (ප්‍රෝටෝන 9,නියුට්‍රෝන 10,ඉලෙට්‍රෝන 9)  හා පරමාණුක ක්‍රමාංකය 9යි. අපිට අවශ්‍ය ට්‍රේසර් එක ලෙස භාවිතා කරන්නේ F වල සමස්ථානිකයක් වන ප්‍රෝටෝන 9 හා නියුට්‍රෝන 9 ඇති ස්කන්ධ ක්‍රමාංකය 18 වන සමස්ථානිකයයි. 

එය මෙතැන්සිට 18F ලෙස හදුන්වමු. මේ සමස්ථානිකය විකිරණශිලියි,අස්ථායි. ක්ෂය වෙන්නමයි හිත. අර්ධ ආයුකාලය (half-life) මිනිත්තු 110ක් පමණයි. 

අර්ධ ආයුකාලය යනු මුල් ප්‍රමාණය හරි අර්ධයක් වීමට ගතවන කාලය. අර්ධආයු කාලය පැයක් වන දෙයක් උදාහරණයට ගමු, මුලින් අංශූ 100 තිබුනත් පැයක් යනකොට තියෙන්නේ 50යි, ඊලග පැයේ 25යි. ඔන්න ඔහොම අර්ධ වෙවි යනවා.
තේරුනානේද?

18F  හදාගත්තත් මිනිස් සිරුර ට කෙලින්ම දැම්මට වැඩක් නැ. සුදුසු වාහකයෙක් ලෙස ග්ලුකෝස් යොදාගනි. ග්ලූකෝස් සමග 18F සම්බන්ද කර FDG ට්‍රේසරේ සකස්කරගන්නවා. 



කියන තරම් පහසු නැ මේ විකිරණශිලි සමස්ථානික සෙල්ලම්. නිවැරදි ආරක්ෂක පිරිවිතර මත පිහිටා පාටිකල් ඇක්සලරේටර් වැනි  මිල අධික උපකරණ භාවිතයෙන් සාදාගන්න ඕනා.  අර්ධ ආයු කාලය අවම නිසා FDG තියාගෙන වැඩිවෙලා සෙල්ලම් දාන්න හැකියාවක් නැ. පැය කිහිපයකින් හදාගත්ත ටික ක්ෂයවෙනවා. 

පිළිකා ගොනු අධික පරිවෘත්තියකින් යුක්තයි. හැමතිස්සේම ග්ලූකොස් ගිලිනවා. FDG ට්‍රේසර්  රෝගියෙක්ට ලබාදුන් විට එහි තියන ග්ලූකොස් කොටස නිසා  පිළිකා සෛල විසින් එය සාමාන්‍ය ග්ලූකොස් යැයි සිතා අන්තර්ග්‍රහණය කරගන්නවා. 

වහා වහා පටකය තුලදි  18F, ඔක්සිජන් හා පොසිට්‍රෝන බවට ක්ෂය වෙනවා. පොසිට්‍රෝන යනු ඉලෙට්‍රෝනයේ ප්‍රතිපදාර්ථයයි. එනම් ස්කන්ධයෙන් ඉලෙට්‍රෝන වලට සමාන උනත් දරන්නේ + ආරෝපනයක්.  FDG භාවිතා කරන්නේ පිළිකා සෛල පමණි යැයි වරදවා වටහා ගන්න එපා. අධික ශක්ති අවශ්‍ය මොළය, වකුගඩු ද  අවශෝශ කරගනි. 



මෙසේ නිකුත් වන පොසිට්‍රෝන වලට වැඩි වෙලාවක් ඉන්න ලැබෙන්නැ. එය ඉලෙට්‍රෝන එකට ගැටිලා ගැමා කිරණ නිකුත් කරන්න ගන්නවා. ගැටුමෙන් පසු ගැමාකිරණ එකිනෙකට අංශක 180ක කෝණයකින් දෙපසට නිකුත් වෙනවා. මෙසේ පොසිට්‍රෝන - ඉලෙට්‍රෝන ගැටුම් ගනනාවක් සිදුවන අතර විවිධ තල ඔස්සේ නිකුත් වන ගැමා කිරණ ඔස්සේ PET ස්කැනරය මගින් පිලිකා ඇති ශරිරාංග හදුනාගෙන ත්‍රිමාණ සිතියමක් සකස් කරනවා.

මේ කතාවෙන් ඔබට  Positron-emission tomography (PET) යන්ත්‍රය හා ට්‍රේසර් කියන වදන්  පැහැදිලි ඇති.

පෙර කිව්වා වගේ 18F සමස්ථානික සැදිමට සැලකිය යුතු පිරිවැයක් හා තාක්ෂණයක් වැය වෙනවා. යන්තරේ ගන්නවා වගේමයි ට්‍රේසරේ පිටුපස තියන කතාවත්. දැනට අපේ රටට මෙය ගෙන්වා ගන්නේ ඉන්දියාවෙන්. ගෙන්වන එකත් ලේසි වැඩක් නෙවෙයි. ගුවන්මගින් ගෙන්වා එය භාරගෙන වහා වහා රෝහල වෙත ප්‍රවාහණය කල යුතුයි. අර්ධආයු කාලය අවම නිසා ප්‍රවාහණයේදිම සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ වෙනවා. 

අපේ රට තුලම නිපදවා ගන්නට හැකියාවක්, ඒ සදහා සුදුසු ආයෝජනයක් සොයාගැනිම අනිවාර්යයි.
එවිට තවත් ජිවිත බේරාගන්නට හැකියාව ලැබේවි!!!

‘‘අලියා ගත්තා වගේ හෙණ්ඩුව ගන්නත් විප්ලයක් කරන්න වෙයිද?‘‘

- රොෂින් ප්‍රනාන්දු


උපපරමාණුක අංශු ගැන තවත් දැනගන්න කැමැතිද? .
වෛද්‍ය විද්‍යාව ගැන තවත් අරුම තොරතුරු දැනගන්නට  කැමතිද?
ක්වොන්ටම් භෞතික විද්‍යාව / වෛද්‍ය විද්‍යාව යන ලේබල වෙත පිවිසෙන්න.

2 comments: