Tuesday, September 11, 2018

ලෝක බලතුලනය හෙල්ලූ ‘‘සූවස් අර්බුදය‘‘

 සූවස් ඇළ පෙර-අපරදිග සම්බන්ධ කරමින් ලෝක ගමනාගමනයේ සංධිස්ථානයක් සනිටුහන් කලේය.
වරක් තම සතපහ වෙනුවෙන් සටන්වැදි
සාම්ප්‍රදායික යටත්විජිත බලවතුන් දෙවැනි පෙළට ඇදදැමීමට
අජිවි ඇළ සජිවිව දායක විය.
ලෝක දේශපාලන භූ සිතියම වෙනස්කල
සූවස් ඇළ අර්බුදය!
මේ දිග හැරෙන්නේ ඒ කතාවයි.






ලෝක ඉතිහාසය ගැන කතා කිරිමේදි කිසි විටෙකත් ඊජිප්තුව බැහැරකල නොහැකිය. මිසර ශිෂ්ඨාචාරය, පාරාවෝ පාලනය, මමි, ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය මෙන්ම වසර දහස් ගනනක් පුරා නැගිසිටින මහා පිරමිඩ ඉතිහාස පොතේ ඊජිප්තුව පිලිබද නොමැකෙන සටහන් තබයි.




ක්‍රි.ව 1869 දි  ලෝක නාවික සිතියම් වල නව මංපෙත් සිත්තම් කරමින් සූවස් ඇල විවෘත විය. වසර දහයක කාලයක් තුල දහස්ගණනකගේ ශ්‍රමයෙන්  සැතපුම් 120ක් දිගකින් යුතුව  ඊජිප්තු වාලුකාව මැදින් කපාගත් ඇළමාර්ගය, එතෙක් පෙරදිගට ප්‍රවිශ්ඨ විමට අප්‍රිකානු මහද්වීපය වටා ගමන්කල යුතු සැතපුම් දහස් ගණනක අමතර දුරක් කපා දැමීය.

ලෙසෙප්ස්

සූවස් ඇළ ඉදිකිරිම හා පාලනය සිදුකරන ලද්දේ ක්‍රි.ව 1859 වසරේ පිහිටවූ සූවස් ඇළ සමාගම (Compagnie de Suez)  විසිනි. සූවස් ඇළ ඉදිකිරිමේ පුරෝගාමිකෘත්‍යයක් ඉටුකල ප්‍රංශ ජාතික ෆර්ඩිනැන්ඩ් ඩි ලසෙප්ස් මහතා එහි ආරම්භක සභාපතිවරයායි. මෙම සමාගමේ ප්‍රධානතම කොටස්කරුවන් වූයේ ප්‍රංශයේ පෞද්ගලික ආයෝජකයන් වූ අතර ඊජිප්තුව භාරයේද සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් විය.

නමුදු 1875 දී දරුණු ලෙස වෙළාගත් ණය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඊජිප්තු පාලක ස්මයිල් පෂා හට තමන් සතු 44%ක කොටස් බ්‍රිතාන්‍ය ආයෝජකයන් වෙත  පවුම් 3,976,582 ක  මුදලකට අලෙවි කිරිමට සිදුවිය.  හිරු නොබසින අධිරාජ්‍ය ලෙසින් විරුදාවලි ලත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සතු පෙරදිග යටත්විජිත වෙත ප්‍රවිශ්ඨ වීමේදි සූවස් ඇළෙහි වැදගත්ම බ්‍රිතාන්‍යයන් හොදහැටි අවබෝධ කරගත්තේය. ඇළ මාර්ගය භාවිතා කල නෞකා වලින් බහුතරයක් බ්‍රිතාන්‍ය සතු නෞකා වේ.  යුධ හා වෙළද උපායමාර්ගික වැදගත්කම හේතුවෙන් සූවස් ඇළ මාර්ගයේ පරිපාලනය හා ඊජිප්තුවේ ආරක්ෂාව යන කාරණාව කෙරෙහි බ්‍රිතාන්‍යයන්  නිරන්තර අවධානයෙන් පසුවිය.

දිගින් දිගටම ඊජිප්තුව තුල සිදුවන බ්‍රිතාන්‍ය අැතුලු යුරෝපා ඇගිලිගැසීම් වලට එදිරිව 1882 දී ඊජිප්තු දේශමාමක බලවේග වල එකතුවෙන් අහමඩ් අවුරාබි ගේ නායකත්වයෙන් කැරැල්ලක් ඇතිවිය. වහා වහා බ්‍රිතාන්‍ය හමුදා ඊජිප්තුව වෙත ලගාවන අතර කැරැල්ල මැඩපැවැත්වීමට සමත් විය. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත් බ්‍රිතාන්‍යය, ‘ඊජිප්තුවේ ආරක්ෂයා‘ භූමිකාවේ රංඟනයේ නිරත වෙමින් ස්වදේශික පාලනය රූකඩයකට සීමාකර පාලන බලය තමන් සතු කරගත්තේය.

ලෝක යුද්ධ අවස්ථාවක සූවස් ඇළ මාර්ගයේ උපායමාර්ගික වටිනාකම කොතෙක්දැයි පුන පුනා පැවසීම අවැසි නොවේ. ලෝක යුද්ධ අවස්ථාවල බ්‍රිතාන්‍ය හා ප්‍රංශය එක්ව මිත්‍ර පාර්ශයට අයත් නොවන නෞකා ඇළමාර්ගයට ඇතුල්කිරිම තහනම් කලේය.  පලමු ලෝක යුද්ධයේදි එනම් 1915 දී ජර්මානු හා ඔටෝමාන් හමුදා එක්ව සූවස් ඇළ ආක්‍රමණය කලද එය ව්‍යාර්ථ විය.

පලමු ලෝක යුද්ධයෙන් පසු, 1922 දී ඊජිප්තුව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගත්තද ඊජිප්තුවේ ෆාරුක් රජු සමග ඇතිකරගත් ගිවිසුම් ප්‍රකාරව තව දුරටත් තම හමුදා සූවස් ඇළ කලාපයේ රැදවීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කලේය. නිදහස ලබාගත්තද බ්‍රිතාන්‍ය සෙබළුන් තවදුරටත් ඊජිප්තුවේ රැදි සිටිම පිලිබදව ඊජිප්තු වැසියන් නොසතුට පලකල අවස්ථා බොහෝය. ඇළ ආසන්නයේ සේවයේ නියුතු බ්‍රිතාන්‍ය සෙබළුන් හා ස්වදේශිකයන් අතර විටින් විට ගැටුම් ඇතිවිය. අරාබි ලෝකය මැද ඊශ්‍රායලය බිහිවිමේදි ෆාරුක් රජුගේ නිහඩ ක්‍රියාකලාපය හා ඊශ්‍රායලය සමග සටනින් ඊජිප්තුව ලත් පරාජය රටවැසියාගේ ඉසිලුම ධාරිතාව දෙදරා ගියේය. 


නසාර්

එහි ප්‍රතිපලය වුයේ 1952 හමුදා කුමන්ත්‍රණයකින් ෆාරුක් රජු සිහසුනෙන් නෙරපා හැරීමයි. ඊජිප්තුව ජනරජයක් බවට පත්කරමින් ‘‘ගමාල් අබ්දුල් නසාර්‘‘ බලයට පත්විය. ඊජිප්තුව බටහිර අදිසි හස්තයෙන් මුදාගෙන නිදහස් ඊජිප්තුවක් බිහිකිරිම ඔහුගේ අරමුණ විය.

1950 දශකය! 
ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් රුසියාව  කදවුරු බැඳ නිරවි යුද්ධයේ අළුයට ගිනි තපින අවධියයි.  මෙම දෙපාර්ශවයම ලොව වටා තම බලය පතුරනු වස් මිත්‍රයන් සොයමින් සිටින අවධියයි. ඊජිප්තුවේ වටිනාකම ඇමරිකාව හා රුසියාව අවබෝධකරගෙන සිටි අතර තම කදවුරට එක්කරගැනිමට නිරන්තරයෙන් මාන බැලීය. 

නසාර්, ඇමරිකාවෙන් නවින යුධෝපකරණ ඉල්ලා සිටියද ඇමරිකානු ජනාධිපති අයිසන්හවර් විසින් අවි යෝජනාව හමස්පෙට්ටියට දැමුවේ, යම් අවස්ථාවක එම අවි තම මිතුරු ඊශ්‍රායලයට එදිරිව භාවිතා කරතැයි යන බිය හේතුවෙනි. ඒ වෙනුවට ඇමරිකාව හා බ්‍රිතාන්‍ය එක්ව දැවැන්ත වාරි යෝජනා ක්‍රමයක් වන අස්වාන් වේල්ල තැනිමට මූල්‍ය උපකාරයට ඉදිරිපත් විය. අස්වාන් වේල්ල යනු නසාර් ගේ නව ආර්ථික දැක්මේ වැදගත්ම අංගයකි. ඊට අමතරව 1956 ජූනි මස බ්‍රිතාන්‍ය තම සෙබළුන් සූවස් ඇළ කලාපයෙන් ඉවත්කරගැනිමටද තීරණය කලේය.

නමුදු නොසිතු ලෙස ඊශ්‍රායලය හා ඊජිප්තුව අතර දේශසීමා ගැටලුවක් පැනනැගිනි.ගාසා තීරයේ ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාර වලින් ඊජිප්තු සෙබළුන් 38 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය. වහ වහා තම හමුදා ශක්තිමත් කල යුතු බව පසක් කරගත් නසාර් ඇමරිකාවෙන් උදව් ඉල්ලා සිටියේය. නමුදු උදව් නොලැබෙන බව දුටු ඔහු, සෝවියට් බලකදවුරේ චෙකොස්ලොවැකියාවෙන් නවීන යුධටැංකි හා ගුවන්යානා මිලදි ගැනිමට ගිවිසුම් ගතවිය. කොමියුනිස්ට් චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇතිකරගනිමින් ඊජිප්තුව, ඇමරිකාවට ඔච්චම් කලේය. එකට එක කිරිමක් ලෙස අස්වාන් ව්‍යාපෘතිය සදහා ඇමරිකානු මුදල් යෙදවීම අත්හිටුවීය.

1956 ජූලි 26 වැනි දින අබ්දුල් නසාර් ඓතිහාසික තීරණයක් ගනිමින්  සූවස් ඇළ ජනසතු කිරිමට පියවර ගත්තේය. අපි අපේ ඇටමස් ලේ නහර අවසන ජීවිතයද කැපකරමින් සෑරූ ඇළ අයිති විය යුත්තේ අපටම යැයි හෙතෙම ප්‍රකාශ කර සිටියේය. බටහිර ආධාර නොමැතිව සූවස් ඇළෙන් ලැබෙන ආදායමෙන් අස්වාන් වේල්ල ඉදිකිරිම නසාර් ගේ සැලසුම විය.

සූවස් ඇළ ජනසතු කිරිම නිත්‍යානුකූලව සිදුකලද ලෝකය තුල ඇතිකල බල අසමතුලනය නිරායාසයෙන්ම යුද්ධයට ආ වැඩිය. මෙය එසේ මෙසේ යුද්ධයක් නොව, සාම්ප්‍රදායික යටත්විජිත බලවතුන් දෙවැනි පන්තියට ඇදදමන්නක් බව යුද්ධය ආරම්බ කල ඔවුන ද කිසිදා නොසිතන්නට ඇත.


ඊඩන්

ඊජිප්තුවේ ක්‍රියාකලාපය තරයේම විවේචනය කල එවක බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රිමත් ඇන්තනි ඊඩන් මහතා විටෙක නසාර්, තවත් හිට්ලර් කෙනෙකු ලෙස එත්තු ගැන්වින. නැගිඑන අරාබිකරයේ ඒකධිපතියාට එදිරිව බ්‍රිතාන්‍ය නැගිසිටය යුතුබව තරයේම ඔහු ප්‍රකාශ කර සිටියේය. ගින්නට පිදුරු දැමු ප්‍රංශ අගමැති ගීමෝලේ ඊඩන් සමග එක්විය. ප්‍රංශ කොලනියක් වූ ඇල්ජිරියාව 1954-62 සමයේදි නිදහස වෙනුවෙන් සටන් වදින අවස්ථාවෙදි සටන්කාමින් හට  නසාර් පාලනයේ ආශිර්වාදය ලැබිණ. ප්‍රංශය ගතු කීමට නොපැකිලිවන්නේ එබැවිනි.

ප්‍රංශය හා බ්‍රිතාන්‍ය රහසින් නසාර් පාලනය බිඳදමා සූවස් ඇළ තම පාලනයට නතුකරගැනිමට මෙන්ම වියැකි ගිය පෞඪත්වය නැවත ලබාගැනිමේ අරමුණින්  රහසේ කුමන්ත්‍රණයක් දියත් කලේය. නමුදු මෙවැනි සටනකින් ඇතිවන අනිටු පළවිපාක දුටු ඇමරිකාවේ පෙළඹවීම මත සූවස් ගැටලුව සාමකාමිව විසදාගැනිම සදහා වන අවසන් සාකච්ඡා වට කිහිපයක් 1956 අගෝස්තු  16 වැනිදින සිට ලන්ඩන් නුවරදි ඇරඹිණ. 

සාකච්ඡා මේසය ආරම්භයේ සිටම පක්ෂග්‍රාහි ස්වරූපයක් පෙන්විය. බන්දේසියේ දමා සූවස් ඇළ තමන් වෙත ලබාදෙන මෙන් බලවතුන් නසාර් පාලනයට බලපෑම් කරන්නට විය. සෘජුවම එම යෝජනා ප්‍රතික්ෂේප කරමින් අසුනෙන් නැගිසිටිමට නසාර් තීරණය කලේය.

මේ අවස්ථාවේදි බ්‍රිතාන්‍ය අගමැති ඇමතු ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් ෆොස්ටර් ඩලස් මහතා අවධාරණය කල සිටියේ ඊජිප්තුවට එදිරිව යුධ ක්‍රියාමාර්ගයකට අැමරිකාව කිසිත් සහය නොවන බවයි. මෙවැනි සටනකින් සිදුවන්නේ සමස්ථ අරාබි ලෝකය, සෝවියට් රුසියානු සමාජවාදි බලකදවුරේ ඔඩොක්කුවට වැටීම බව ඔහු පැහැදිලි කර සිටියේය.ඒ වනවිටත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශය  තම යුධ සිතියම් වල දූවිලි ගසාදමමින් සිටියි.

නමුදු ප්‍රථමයෙන් නසාර්ට එදිරි ප්‍රහාරය දියත්කලේ බ්‍රිතාන්‍ය හෝ ප්‍රංශය නොව අසල්වැසි ඊශ්‍රායලයෙනි.  කලක පටන් ඊශ්‍රායලය හා ඊජිප්තුව අතර පවතින නෝක්කාඩුවේ වාසිය ලබාගනිමින් ඊශ්‍රායලය අතකොලුවක් ලෙස යොදාගැනිම බ්‍රිතාන්‍ය-ප්‍රංශ කුමන්ත්‍රණයේ උපායකි. යුධ සැලැස්ම පිලිබද තුන්කොන් සාකච්ඡා ඔක්තෝම්බර් 22 -24 දිනයන්හී ප්‍රංශයේදි පැවත්විණ. 


  • ඊශ්‍රායලය විසින් ඊජිප්තුව ආක්‍රමණය කිරිම
  • ප්‍රංශය හා බ්‍රිතාන්‍ය සටන්විරාම ක්‍රියාවලියට මැදිහත් විම.
  • අවුරාබි කැරැල්ල අනුව යමින් ඊජිප්තුවේ ආරක්ෂකයා බවට පත්විම
  • නසාර් පාලනය අවසන් කිරිම,  බලවතුන්ගේ සැලැස්ම විය.





ඔක්තොම්බර් 29 වැනිදින සයිනායි අර්ධද්වීපයට ගුවන් සංග්‍රාමික ප්‍රහාරයන්ද, පසුදින භූමියෙන්ද ඊශ්‍රායලය ඊජිප්තුව ආක්‍රමණය කිරිම ඇරඹීය. මෙය තම ආරක්ෂාව පතා ගාසා හා සයිනායි ප්‍රදේශ වල සැගව සිටින පලස්තින සටන්කාමින්ට එදිරිව දියත්කල ප්‍රහාරයක් බව හුවාදැක්වීමට ඊශ්‍රායලය කටයුතු කලේය. මේ අතර බ්‍රිතාන්‍ය ප්‍රංශය විසින්  ඊශ්‍රායලට හා ඊජිප්තුවට සටන් විරාමයක් ඇතිකරගන්නා ලෙසත් සූවස් ඇළ ආශ්‍රිතව හමුදා කණ්ඩ ඉවත්කරන්නා ලෙසත් දන්වාසිටි අතර එසේ නොවන්නේ නම්  තම හමුදා අර්බුදය සදහා මැදිහත්වනු ඇති බවත් අනතුරු ඇගවීය.




මෙය උගුලක් බව දුටු නසාර් තම හමුදා ඉවත්කිරිම ප්‍රතික්ෂේප කලේය. ඒ අනුව ඔත්තෝම්බර් 31 වැනිදින බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ගුවන් හමුදා  ඊජිප්තු මර්මස්ථාන වෙත බෝම්බ හෙලීම ඇරඹිය. නසාර් විසින් නෞකා රාශියක් ගිල්වා දමා සූවස් ඇළ සම්පූර්ණයෙන්ම අවහිර කලේය. 




ඇළ අවහිර කිරිම

දැවැන්ත වෙඩි බලයක් මධ්‍යයේ  නොවැම්බර්  05 වැනිදින බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ඊජිප්තුවට ගොඩ බැසීම ඇරබිණ. බ්‍රිතාන්‍ය-ප්‍රංශ නවින අවිආයුධ හමුවේ ඊජිප්තු හමුදා පසුබසින්නට විය. සියගණනක් සෙබළුන් මෙන්ම සිවිල් වැසියන්ද ජීවිතක්ෂයට පත්විය. ගුවන්ප්‍රහාර නිසා දහස් ගණනක් අවතැන් විය.







සූවස් අර්බුදයට එදිරිව ලෝක ප්‍රජාව තුලින් හඩක් නැගෙන්නට විය. පලමුව  සටන්විරාමයක් ඇතිකරගන්නා ලෙස උපදෙන් දි, සාමය පසෙක ලා යුද්ධයක් ඇරඹූ  බ්‍රිතාන්‍ය-ප්‍රංශ ක්‍රියාකලාපය විවේචනයට බඳුන් විය. එක්සත් ජාතින්ගේ සංවිධානය තුල හඩක් ගැනෙන්නට විය. නිරවි යුද්ධයක සිටි ඇමරිකාව මෙන්ම සෝවියට් දේශයේ අදහස වූයේද මෙවැනි සටනක් ඇතිනොවිය යුතු බවයි. මෙවැනි සටනක් අඛණ්ඩව පවත්වාගෙන යෑම සදහා ප්‍රංශය හෝ බ්‍රිතාන්‍යයට සදාචාරාත්මක අයිතියක් නොමැති බව බලකදවුරු දෙකෙන්ම ප්‍රකාශ නිකුත්විය. සූවස් අර්බුදය මගින් අරාබි ලෝකය සෝවියට් රුසියාවට නතුවන බව හොදින්ම ඇමරිකාවද දැන සිටියේය.

එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේදි තමාට එදිරිව ඉදිරිපත් වූ යෝජනාව නිෂේධ බලය යොදාගෙන ඉවතදැමීමට බ්‍රිතාන්‍ය හා ප්‍රංශය සමත් වුවද ඔවුන් පරයා පෙළගැසෙන බලමුළුවට එරෙහිව සටන්වැදිමට ශක්තියක් ඇත්දැයි ඇත්තේ කුකුසකි. 

සූවස් අර්බුදය ඇරඹිමට පෙර සිටම බ්‍රිතාන්‍ය ආර්ථිකය පසුගාමි තත්ත්වයක පැවැති අතර සටන් ඇරඹීමත් සමග දැඩි ආර්ථික අර්බුදයකට රට පියමන් කලේය. මින් මිදීමට තිබූ පහසුම මග වූයේ ලෝක මූල්‍ය අරමුදලෙන් උපකාර පැතීම වුවත් තම අභිමතයට එදිරිව අරාබි ලෝකය තුල සටනක් ඇතිකිරීම නිසා ඇමරිකාව විසින් මුල්‍ය ආධාර අවහිර කර තිබිණි. සටන නවතා දමන්නේ නම් ආධාර ලබාදෙන බව ඇමරිකාව දන්වා සිටියේය.

බ්‍රිතාන්‍ය අගමැති ඊඩන් බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් නැගෙන ප්‍රතිරෝධය හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටියේය. වහා තීරණයක් ගන්නා ලෙස නන් දෙසින් බලපෑම් එල්ල විය.

බ්‍රිතාන්‍ය සෙබළුන් ඊජිප්තුවට ගොඩබැස දින දෙකක ඇවෑමෙන් සටන්විරාමයක් ප්‍රකාශයට පත්කලේය. දින කිහිපයකින් එක්සත්ජාතින්ගේ සාම සාධක හමුදා ඊජිප්තුව වෙත ලගාවිය. බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා ඉවත්කරගැනිමට සිදුවිය.  ඇමරිකානු බලපෑම් මත ඊශ්‍රායල හමුදාද සයිනායි ප්‍රදේශයෙන් ඉවත්විය.   

නසාර් තම පාලනය ආරක්ෂා කරගත්තේය. එක්සත් ජාතින්ගේ හා ඇමරිකාවේ මැදිහත් වීමද නසාර් හට ආශිර්වාදයක් වු බව නොඅනුමානය. යුරෝපා බලවතුන් හා සටන් වැදුනු නසාර් ගේ ජනප්‍රියතාව ඉහලයන්නට විය. 

සාම්ප්‍රදායික බලවතුන් බිඳවැටිණ. බ්‍රිතාන්‍ය අගමැති අැන්තනි ඊඩන් ධුරෙයන් ඉල්ලා අස්විය. බ්‍රිතාන්‍ය හා ප්‍රංශය තවදුරටත් පලමු පන්තියේ ලෝක බලවතුන් නොවන බව සූවස් අර්බුදයේ සමාප්තියත් සමග පසක් විය. ඉදිරි දශක ගනනාව තුල රැකෙන්නට නම් ඇමරිකාව සමග මිත්‍රත්වයේ දෑත ශක්තිමත් කරගැනිමට අවැසි බව ඔවුන් තේරුම්ගත්තේය.

සූවස් අර්බුදය අවසන ලෝක දේශපාලනික වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉලක්ක රාශියක් සපුරා ගැනිමට සමත් විය. ලෝක බලතුලනයේ බටහිර බලකදවුරේ නියමුවා බවට ඇමරිකාව අභිෂේක ලැබීය. සුළු කම්පනයකින් පවා ගැටුම් ඇතිවියහැකි අස්ථායි මැදපෙරදිග වෙත තම බලය පැතිරවීමේ ශක්තිමත් පියවරක් සූවස් අර්බුදය හරහා ඇමරිකාව තැබීමට සමත්විය. 

- රොෂින් ප්‍රනාන්දු


3 comments: