Sunday, September 9, 2018

එවරස්ට් තරණයේ මංසලකුණු වූ මමි සිරුරු!

මුහුදු මට්ටමේ සිට උසම කන්ද වන එවරස්ට් කන්ද තරණයට එතෙක් මෙතෙක් උත්සහා දැරූවෝ බොහෝය. ඇතැමෙක් තම තරණය වීර වික්‍රමයක් ලෙස ඉතිහාස පොතේ සනිටුහන් කරද්දි, හිමගිරෙහි සැඟවුණු පිරිසද අතිවිශාලය. අංක ගණිතයෙන් කොපමණදැයි කිසිවෙකු නොදත් පිරිසක් අදත්  එවරස්ට් ගිරිදඹෙහි සැතපී ඇත. 
ඔවුන් මියගියද, අදටත් කදු ශිඛරය තරණයට වෙර දරන පිරිස් වෙත මංසලකුණු තබන බව
ඔබ දන්නවාද?




මුහුදු මට්ටමෙන් මීටර් 8,848 ක් උසැති සාගර්මාතා හෙවත් එවස්ට්ස් කදුවැටිය තරණය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. හිමෙන් වැසුණු ගිරි ශිඛරයට ආසන්න වෙත්ම වායූගෝලිය ඔක්සිජන් මට්ටම අවම අගයක් ගනි. සැඩ සුලඟ මෙන්ම අවිනිශ්චිත හිම පතනයද මාරක ය. එක් වැරැදි පියවර තැබුමකින් කන්දෙන් වැටිම හෝ හිම ගොඩකට යටවිය හැක. එඩ්මන්ඩ් හිලරි හා ටෙනිසන් ගේ පලමු තරණයෙන් පෙර හා පසු හිමගිරෙහි සැගව ගිය ගණන නිෂ්චිතව කිසිවෙකු නොදත්ත ද ආසන්න ලෙස 200කට ආසන්න කදුනගින්නන් පිරිසක් තම දිවි ගමනේ අවසන් සැරිය එවරස්ට් කන්දෙහි සරා ඇත.

එවරස්ට් කදු තරණයෙහි මාරක සිද්ධින් සැලකීමේදි මැලරි හා අර්වින් ගේ තරණ ප්‍රයාත්නය මූලිකත්වයෙහි ලා සැලකිය හැකිය. මන්ද යත් 1953 දී එඩ්මන්ඩ් හිලරි කදු මුදුනට පා තැබිමට පෙර මැලරි විසින්  1924 දී එවරස්ට් කදු මුදුන ජයගන්නට ඇතැයි පවතින සැකයයි.

මැලරි

20 වැනි සියවසේ මුල් භාගයේ ප්‍රකට ගවේෂකයෙකු හා කදුනගින්නෙකු වන ජොර්ජ් මැලරි, 1920 දශකයේ මුල භාගයේදි හිමාලය කදුපන්තියේ ගවේෂණ රැසකට දායක වූ අයෙකි. පූර්ව ගවේෂණ වලින් ලත් අත්දැකීම ද පෙරදැරිව 1924 දී මැලරි, ඇන්ඩෘ අර්වින් සමග එක්ව එවරස්ට් තරණයට පිටත්ව යනවා. අවසන් වරට ජූනි 08 දින නෙත්මානයෙන් ඔබ්බට ගිය ගවේෂකයින් දෙපල පිලිබදව කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදහන් විය.  1975 දී චීන ගවේෂකයන්ගේ නිරික්ෂණ හා පාදසටහන් අනුව යමින් 1999 දී මැලරිගේ සිරුර කන්දෙන් සොයාගත් බව ගවේෂකයින් පිරිසක් තහවුරු කලේය. අධික ශිතල හේතුවෙන් දශක ගණනාවකට ඇවැමෙන් වුවද සිරුර සුරක්ෂිතව පැවතිණ. 

මැලරි ගේ සිරුර

උසකින් වැටිමෙන් ඇතිවූ හානි සිරුරෙහි දැකිය හැකිවිය. අර්වින් ගේ සිරුර මෙන්ම කැමරා ඇතුලු ආම්පන්න බොහෝමයක්ද සොයාගැනිමට අපොහොසත් විය. මියයෑමට පෙර මැලරි කදු මුදුන තරණය කලායැයි ඇතැමෙක් මතයන් ඉදිරිපත් කරන අතර විවිධ සාක්ෂි සාධකද ඉදිරිපත් කරයි. 

Green Boots

පල්ජෝර්

එවරස්ට් තරණයේදි හමුවන ප්‍රමුඛ මංසලකුණක් මෙන්ම අවාසනාවන්ත ඛේදවාචකයක තවත් පරිච්ඡේදයක් ලෙස ‘‘Green Boots‘‘ හැදින්විය හැක. කන්දේ අඩි 28000ක උසක ඊසානදිගට වන්නට පිහිටි කුඩා ගිරිගල් ගුහාවක් ආසන්නයේ ඇති සිරුරක් සුරක්ෂිතව පවති. දීප්තිමත් කොල පැහැති පාවහන් පැලැද සිටිම නිසා Green Boots නාමයෙන් ප්‍රකට වූ මේ පුද්ගල සිරුර 1996 දී එවරස්ට් තරණයට එක්වූ  Tsewang Paljor නම් ඉන්දීය ජාතිකයාගේ ය.  1996 එවරස්ට් කදුතරණයේ මාරක වසරක් බවට පත්කරමින් දැඩි හිමකුණාටු ඇතිවිය. පල්ජෝර් ද හිමකුණාටුවකට නිරාවරණය විමෙන් මියගියායැයි සැලකේ. ඊට අමතරව ඔහු සමග ගමනට එක්වූ සමන්ලාල් හා මොරප් යන අයද අතුරුදහන් විය. පල්ජෝර් හෙවත් Green Boots සිරුර ඊසාන ඉමෙහි ඉම්ගලක් සේ කදුනගින්නන් සලකණු ලබයි.

ශාප්

Green Boots පිලිබද සදහන් කරද්දි ඩේවිඩ් ශාප් පිලිබදවද නිරායාසයෙන්ම මතකයට නැගේ. 2003 හා 2004 දී ලගාවීමට නොහැකි වූ  ගිරි මුදුන සොයා නැවත වරක් 2006 මැයි මස තනිවම ඔක්සිජන් ටැංකි දෙකක පිහිටෙන් ගමන්කල බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ශාප් හට මැයි 15 වැනි දින තම ඉලක්කයට ලගාවීමට හැකිවූවායැයි සැලකේ. නැවතත් කදු පාමුලට එන ගමනේදි අධික වෙහෙස, අධික ශිතල හා ඔක්සිජන් අවමවීම හේතුවෙන් Green Boots ගේ ගුහාව තුල මුවා වී ඇත. කිසිදු සන්නිවේදන උපකරණයක් නොමැති වීම හේතුවෙන් උපකාර ඉල්ලීමේ හැකියාවක් ද නොමැති විය. ඉහල පහල යන 40කට ආසන්න කදුනගින්නන් පිරිසක් ශාප් පසුකර ගියද, බොහෝදෙනා සිතා ඇත්තේ නිසොල්මනේ සිටින ශාර්ප් මියගොස් ඇති බවයි. ඇතැමෙක්, ශාප් යනු Green Boots යැයි වරදවා වටහා ගෙන ඇත. අවසානයේ සංචාරකයන් පිරිසක් ශාර්ප් හට උපකාරයට පැමිණියද ශාර්ප් හට නැවත ප්‍රකෘති තත්ත්වය පත්වීමට අවකාශ නොලැබ ගුහාව තුලදීම ජිවිතක්ෂයට පත්විය.

කාල්

එවරස්ට් තරණය, අභ්‍යවකාශ තරණයට නොදෙවෙනි අසීරු මාරක ක්‍රියාන්විතයක් බව කාල් ගොර්ඩන් ගේ අවාසනාවන්ත සිද්ධිය මොනවට හේතු දක්වයි. නාසා ආයතනයේ අත්දැකීම් බහුල සම්මානලාභි අජටාකාශගාමියෙකු වන කාල් ගොර්ඩන් හෙන්සි මහතා පරික්ෂණ මාලාවක් සදහා 1993 දී එවරස්ට් වෙත ලගා වේ. නමුදු එහිදි රෝගීවන කාල්, කදවුරේදි අවසන් ගමන් ගියේය. කන්දේම ඔහුගේ සිරුර මිහිදන් කලේය.

ආසෙන්තියෙව් යුවල

ඇමරිකානු ජාතික කදුනගින්නියක වූ ෆ්‍රැන්සිස් ආසෙන්තියෙව් හා ඇගේ සැමියා වූ සර්ගෙයි ආසෙන්තියෙව්  ක්‍රි.ව 1998 මැයි මස එවරස්ට් කදු නැගීමට සහභාගී විය. දෙවරක් කදු මුදුන කරා ලගාවීමට තැත් කලද ඒවා අසාර්ථක විය. මැයි 22 වැනිදින තම තෙවැනි උත්සහය සාර්ථක කරගැනිමට සමත්විය. විශ්මය වූයේ ඔක්සිජන් ටැංකි ආධාරකර නොගනිමින් කදු මුදුනට ලගාවීමයි. නැවත කන්දෙන් බසින අවස්ථාවේදි, සර්ගෙයි හා ෆ්‍රැන්සිස් යුවල එකිනෙකාගෙන් මගහැරිනි. නැවතත් කදවුරට ලගාවූ සෙර්ගෙයි, තම බිරිද නැවත පැමිණ නොමැති බව දැනගෙන, ඇය සොයා ඔක්සිජන් හා ඖෂධ රැගෙන නැවතත් පිටත්විය. එය සර්ගෙයි අවසන් වරට දුටු අවස්ථාවයි.

ඔක්සිජන් ඌනතාව හේතුවෙන් ෆ්‍රැන්සිස් ක්ලාන්ත විමෙන් කණ්ඩායම මගහැරුණු බව විස්වාසයයි. මැයි 24 වැනි දින උදෑසන ඉතා දුර්වල තත්ත්වයෙන් ජිවිත අයැද සිටින ෆ්‍රැන්සිස් ව කදු තරණයේ නිරත ඉයන් වූඩොල් හා කැති ඔ‘ඩොව්ඩ් යුවලගේ නෙත ගැටින. ඉයන් හා කැති හැකි පමණින් ෆ්‍රැන්සිස් හට උපකාර කලද අධික ශීතල , දුර්වල සෞඛ්‍යය මෙන්ම දුෂ්කර භූපිහිටිම නිසා ෆ්‍රැන්සිස් මුදාගැනිම අත්හැර දැමිමට සිදුවිය. තමන් හැර නොයන ලෙස ෆ්‍රැන්සිස් ආයාචනා කලද ඉයන් හා කැති යුවලට කලහැකි දෙයක්ද නොවීය. හිම අතර ෆ්‍රැන්සිස් ජිවිතක්ෂයට පත්විය. වසරකට පමණ පසුව, කන්දකින් ඇදවැටි මරණයට පත්ව සිටි සර්ගෙයි ආසෙන්තියෙව් ගේ සිරුර සොයාගැනිමට හැකිවිය.


ෆ්‍රැන්සිස් ගේ සිරුර

වසර නවයකට ආසන්න කාලයක් එවරස්ට් කන්දේ ශීතලෙන් සුරක්ෂිත වූ ෆ්‍රැන්සිස් ගේ මළ සිරුර කදුනගින්නන් අතර Sleeping Beauty ලෙසින් ප්‍රකට විය. 2007 දි නැවතත් ෆ්‍රැන්සිස් සොයා එවරස්ට් කන්දට ලගා වූ ඉයන් වූඩොල් කෙටි අවමංගල්‍ය චාරිත්‍රයකින් පසුව මළසිරුර ඉවත්කලේය. 

එකිනෙක පැවසීමට අපහසු තරමේ මෙවැනි ඛේදවාචක බොහෝමයක් එවරස්ට් කන්ද දරා සිටි.



මීටර් 8000කට ඉහල කදු සිමාව මරණයේ දූතයන් නිරන්තරයෙන් රැදෙන සීමාවකි. හුස්ම ගැනිමට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොමැති වායු පීඩනය සාපෙක්ෂව අවම සීමාවකි. ක්ලාන්තය, මොළය ඉදිමුම, වමනය,තෙහෙට්ටුව ඇතිවිය හැකිය. අනතුරට පත්වූවන් බේරාගැනිමට හෙලිකොප්ටර් යොදාගැනිමට නොහැකිව ඇත්තේ වායුගෝලයේ තූනිබව හේතුවෙනි. 




අනතුරට පත්වූවන් බේරාගැනිමට යන පිරිස් ද අනතුරට පත්වීමේ සම්භාවිතාව ඉහලය. මළසිරුරු රැගෙන ඒමේ අන්තරාය හේතුවෙන් ඒවා කන්දෙහිම අතහැර පැමිණිම බොහෝවිට සිදුවේ. අධික ශීත හේතුවෙන් බොහෝ කලක් සිරුරු සුරක්ෂිතව පවති.

- රොෂීන් ප්‍රනාන්දු


No comments:

Post a Comment