Friday, May 18, 2018

ඇන්ටාක්ටිකාවේ තරගෙට ලමයි හදයි!!!

දක්ෂිණ ධ්‍රැවයේ හිමෙන් වැසිගිය කර්කෂ දැවැන්ත ඇන්ටාක්ටික් භූමියේ අයිතිකරුවන් කවුද?
ඇන්ටාක්ටිකාව බෙදාගැනිමට බැරිව ලමයි බිහිකරන්නට වෙරදැරු ජාතින් කවරේද?
 ඇන්ටාක්ටිකාව ගැන රස කතා අහන්න සූජානම් ද?
☺☺☺☺☺





ඇන්ටාක්ටිකාව, තද අයිස් තට්ටුවකින් වැසිඇති, කිසිදු ස්වදේශිය ජාතියක් රහිත, නූතන ලොව පහස ලබන පහසුකම් රහිත බිම්කඩක්.  සමස්ථ පෘථිවියේම භුමියෙන් 10%ක් තරම් දැවැන්ත භූමියකට හිමිකම් කියනවා. මෙවැනි බිම්කඩක් තම රාජ්‍යයට ඈදාගන්නට අකමැති කවුරුන්ද?

ලෝකයේ බලවතුන් යැයි කියාගත් රටවල් සෙසු රටවල්  තම අණසක නතුකරගන්නට විවිධ උත්සාහ දැරුවා.  ඔවුන්ගේ හිත ගවේෂණය නොකල උත්තර හා දක්ෂිණ ධ්‍රැව වෙතද නිරායාසයෙන්ම යොමුවුනා.  ධ්‍රැව ගවේෂණය තරගයක් බවට පත්වුනා. බ්‍රිතාන්‍ය හා නොර්වේ අතර දක්ෂිණ ධ්‍රැවයට පාතැබිම සදහා ගවේෂණ තරගයක් ඇරඹුනා. මින් ජයගන්නේ ආමුන්සන් ගේ නායකත්වයෙන් යුතු නෝර්වේ ගවේෂණ කණ්ඩායමයි.


ආමුන්සන් ගේ ගවේෂණයෙන් පසු රටවල් ගණනාවක ගවේෂකයන් ඇන්ටාක්ටිකාවට පැමිණී අතර 1930-1940 පමණ විට (දෙවැනි ලෝක යුද්ධයට පෙර) බ්‍රිතාන්‍ය,ආජන්ටිනාව,චිලි,නෝර්වේ, නාසි ජර්මනිය,ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, නවසිලන්තය යන රටවල් විසින් ඇන්ටාක්ටිකාවේ භූමිය බෙදාගනු ලැබුවා. දෙවැනි ලෝක යුද්ධයේ අවසානයත් සමග භූමි පාලන සිතියමේ වෙනස්කම් සිදුවෙමින් නාසි පාලිත ඇන්ටාක්ටිකා භූමියේ අයිතිය වෙනස් වූනා. 

ඇන්ටාක්ටිකාවේ පාලනය හා භුමිය ක්‍රමවත් හා සාමකාමිව පත්වාගැනිමේ අරමුණින් රටවල් 12 ක අත්සනින් 1959 වසරේදි ඇන්ටාක්ටික් ගිවිසුම් සංධානය බිහිවෙනවා. 
  1. ආජන්ටිනාව
  2. ඔස්ට්‍රේලියාව
  3. බෙල්ජියම
  4. චිලි
  5. ප්‍රංශය
  6. ජපානය
  7. නවසීලන්තය
  8. නෝර්වේ
  9. ද.අප්‍රිකාව
  10. සෝවියට රුසියාව
  11. එක්සත් රාජධානිය
  12. ඇමරිකාව 
අදවන විට රටවල් 53 ක එකමුතුවක් දක්වා වර්ධනය වි අවසන්. වර්තමානය වන විට ඇන්ටාක්ටිකාවේ භූමියට ඔස්ට්‍රේලියාව එක්සත් රාජධානිය ආජන්ටිනාව චිලි ප්‍රංශය නොර්වේ හිමිකම් කියන අතර කිසිම රටකට අයත් නොවූ Marie Byrd Land නම් කොටසකින්ද සමන්විතයි. 



ඇන්ටාක්ටික් ගිවිසුමට අනුව ඉහත රටවල් ඇන්ටාක්ටිකාව තුල සම අාධිපත්‍යයක් පවත්වාගෙන යමින් බලය හුවමාරු කරගෙන පත්වාගෙන යනවා. ඇන්ටාක්ටික් ගිවිසුමට අනුව,
  • භූමිය සමකාමි අභිමතාර්ථය වෙනුවෙන් භාවිතා කල යුතුය. යුධ ක්‍රියා හෝ යුධ අවි අත්හදා බැලිම් තහනම් වන අතර විද්‍යාත්මක පරික්ෂණ සදහා පමණක් අවස්ථාව ලබාදෙයි.
  • විද්‍යාත්මක ගවේෂණයේ නිදහස තහවුරු කරයි.
  • න්‍යෂ්ඨික අත්හදාබැලිම් හෝ න්‍යෂ්ඨික අවි අපහරණ ක්‍රියා තහනම්
  • නිරික්ෂකයන්ට  නිදහස් ප්‍රවේශය වැනි භුමියේ සාමය යා  සමගිව පාලනයට උපකාරි වන වගන්ති වලින් සමන්විතය.
ඒ අනුව පෙනියන්නේ ඇන්ටාක්ටිකාවේ තනි අයිතිය කිසිවෙකුට නැති බවත්  *සැමට (ගිවිසුම් ගතවූවන්ට ) අයත් බවත්ය.

ඇන්ටාක්ටිකාවේ භුමියේ බෙදිම ගැන කතාව නම් කිව්වා. නමුත් මොකක්ද ලමයි හදපු කතාව?

ආජන්ටිනාවේ භූමිය බෙදිමේ සිතියම බැලුවොත් එක්සත් රාජධානිය, චිලි හා ආජන්ටිනාවට අයත් භුමී එකිනෙක ඡේදනය වන බව ඔයාලාට පැහැදිලි ඇති. චිලි හා ආජන්ටිනාවට ගිවිසුම අත්සන් කිරිමට පෙර සිටම ඇන්ටාක්ටික් භූමිය අත්පත් කරගැනිමේ නොනිම් ආසවකින් පෙළුනා. ගිවිසුමෙන් එයට ඇති අවස්ථා වැලකි ගියද ඔවුන් අතර වූ තරගය නම් මන්දගාමි වූයේ නැ. 

1977  දි චිලි හි එවක පාලකයා වූ ඔගස්ටස් පිනොචේ (චිලි හී ජනපති සැල්වදොර් අයියන්දේ පලවාහැර හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත්වු ඒකාධිපති පාලකයා) ඇන්ටාක්ටිකාවේ සංචාරයකට එනවා. එහිදි ඔහු විසින් මෙය තමන්ට අයිති භුමිය බවට ප්‍රකාශයක් සිදුකරනවා. ඒ ඒකාධිපති පාලකයාගේ වදනට ආජන්ටිනාවේ එකාධිපති පාලකයා වූ රැෆයල් විඩෙයා උත්තර දුන්නේ වෙනස්ම විදිහකට.

ඇන්ටාක්ටික් අර්ධද්පයේ උතුරු කොනේ වූ ආජන්ටිනාවට අයත්  Esperanza base හි සේවක කල කපිතාන්  එමිලියෝ පල්මා ගේ බිරිද වූ සිල්වියා ගැබ් ගන්නවා. මාස 7ක පමණ ගැබිනියක් ව සිටියදි  සිල්වියාව ඇගේ සැමියා සේවය කල ආජන්ටිනියානු කදවුර වෙත එවනු ලබනවා. එහිදි සිල්වියා ගේ පුත්‍රයා ලෙස 1978 ජනවාරි 07 වැනි දින එමිලියෝ මර්කෝස් පල්මා හට උපත ලබනවා. මර්කෝස්, දැනට තහවුරු කරගත් වාර්ථා අනුව ඇන්ටාක්ටිකාවේ උපතලැබු පලමු දරුවායි.

ඔහුගේ උපතත් සමග ඇන්ටාක්ටිකා කොටස රහිත සියලුම ආජන්ටිනා සිතියම් තහනම් කිරිමට එරට රජය පියවර ගන්නවා. චිලියත් නිකං ඉන්නේ නැ. ඔවුන් කලේ ලගදි විවාපත් වූ යුවල ඇන්ටාක්ටික් භූමිය වෙත යැවිමයි. ඇන්ටාක්ටික් භූමිය තුල ගැබ්ගත් හා උපතලැබු පලමු දරුවා බිහිකිරිම චිලියේ අරමුණයි. එහි ප්‍රතිපලයක් ලෙස 1984 නොවැම්බර් 21 වැනිදින ජුවාන් පැබ්ලෝ මාර්ටිනෝ උපත ලබන්නවා.

ආජන්ටිනා කදවුර

චිලි කදවුර


අද වන විට ආජන්ටිනියානුවන් 8 දෙනෙක් හා චිලී ජාතිකයන් 3 දෙනකු ලෙස 11 දෙනකු ඇන්ටාක්ටිකාවේ උපත ලබා තිබෙනවා. මීට අමතරව චිලී රාජ්‍ය විසින් හා ආජන්ටිනාව විසින් ඇන්ටාක්ටිකාවේ තමන් ගේ භුමිය තුල විශේෂ සිවිල් මධ්‍යස්ථාන පවත්වාගෙන යමින් සිවිල් වැසියන්ට නිතර එහි ඒමට අවස්ථාව ලබා දෙනවා. 

චිලි හා ආජන්ටිනා නිරවි සටන තවමත් අවසන් නැ. 
නමුත් මින් ජය ලැබුවෙකුද නැ.
මක් නිසාද යත්
ඇන්ටාක්ටිකාව අයිතිකරුවකු නැති, සැමට අයිති භුමියක්.

යුද්ධය කොතරම් සැහැසිද?
අපි එය තිස් වසරක් වින්දා.
අපගේ විරෝධාර රණවිරුවන් යුධ ගිනි නිවා දැමුවේ
අදවැනි දිනකයි.
ඒ උත්තම පුරුෂයන් ජාත්‍යාලයෙන් සිහිපත් කරමු!!!
ආයු රක්ඛන්තු ආවඩා!!!

- රොෂින් ප්‍රනාන්දු




1 comment: