Friday, July 6, 2018

පාපන්දුවෙන් පැන්න වාර්ගික අර්බුධය - පාපන්දු යුද්ධය

පාපන්දු සංග්‍රාමය ලෝකේම වෙළාගත් සමයක් නොවැ මේ. කවුරු දිනයිද? කවුරු පරදීද? කතා ගොඩයි.
පන්දුවෙන් පමණක් කෙරෙන පාපන්දු සංග්‍රාම අතරේ පාපන්දුවෙන් මතුවුන භූමියේ සංග්‍රාමයක් ගැනයි අද
ලිපිය දිගහැරෙන්නේ.
Football War - පාපන්දු යුද්ධය



හොන්ඩියුරාස් හා එල්සැල්වදෝර්, මධ්‍යම ඇමරිකාවේ පිහිටි රාජ්‍ය දෙකක්. සිතියමේ රාජ්‍ය දෙක දෙස බැලු බැල්මෙන්ම ඔබට ප්‍රමාණයන් අතර වෙනස වැටහේවි. එනම් හොන්ඩියුරාස් එල් සැල්වදෝරයට වඩා කිහිප ගුණයක් විශාල බව.



නමුදු ජනගහණය අනුව එල්සැල්වදෝරයේ ජනගහණය සාපෙක්ෂව අධිකයි. මේ හේතුවෙන් විසිවැනි සියවස ආරම්භයේ සිටමසැල්වදෝර් වැසියන් වාසස්ථාන සොයා හෝන්ඩියුරාස් වෙත අනවසරයෙන් සංක්‍රමණය වනවා. 1960 දශකය වන විට හොන්ඩියුරාසයේ ජනගහණයෙන් 20%ක්ම සැල්වදෝර් නියෝජනයක්.

ඔල්වල්දෝ ලෝපේස් (Oswaldo López Arellano) හමුදා කුමන්ත්‍රණයකින් හොන්ඩියුරාසයේ බලයට පත්වෙනවා. ඔහුගේ දූෂීත පාලනය හා බහුජාතික සමාගම් සමග සිදුවන ගණුදෙනු හේතුවෙන් රට තුල අර්බුදයක් මතුවෙනවා. මෙම අවස්ථාවේදි ඔස්වල්දෝ තමාට එරෙහිව නැගෙන චෝදනා වෙනතකට හැරවිමේ අරමුණින්, හොන්ඩියුරාස් තුල අර්බුද ඇතිවිමට හේතුව අනවසර සැල්වදෝර් සංක්‍රමණිකයින් බව දිගින් දිගටම ගෙනහැර පානවා.ඔහු විසින් නව ඉඩම් ප්‍රතිසංස්කරණ පනතක්ද හදුන්වා දෙන අතර එයින් සැල්වදෝර් සංක්‍රමණිකයන් සතුව ඇති ඉඩම් නැවත පවරා හොන්ඩියුරාස් වැසියන් වෙත පවරනවා. දෙපිරිස අතර වෛරය උග්‍ර කරමින් සැල්වදෝර් වැසියන් ඉලක්ක කොට වාර්ගික ගැටුම් දියත්වනවා.

1970 මෙක්සිකෝ FIFA ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තීරණාත්මක තරගයකදි හොන්ඩියුරාස් හා එල් සැල්වදෝරය හමුවන්නේ මෙවන් වටපිටාවක් තුලයි. ලෝක කුසලානය නියෝජනයට මෙම තරගය ජයගත යුතුමයි.හදවත් තුල බුර බුරා නැගෙන කෝපය පිටකිරිමට ක්‍රමයක් සොයමින් සිටි දෙපිරිසම අනිකා රිදවීමට මෙය අවස්ථාවක් කරගනි.

පලමු තරගය හොන්ඩියුරාසයේදි පැවැත්වෙන අතර එහිදි ගෝල 1-0 ලෙස හොන්ඩියුරාසය ජයගන්නවා. තරගයට පෙර දිනයේදි හොන්ඩියුරාස් පිරිස් විසින් සැල්වදෝර් කන්ඩායම ලැගුම්ගත් හෝටලය වටකර ශබ්ද කරමින් රාත්‍රිය පුරා බාදාකර තිබෙනවා. තරගය පරාජය විමෙන් දුකට පත් ඇමෙලියා නම් කතක් සියදිවි නසාගත් අතර ඇය ජාතික විරවරියක් බවට සැල්වදෝරය ප්‍රකාශ කලා.

දෙවැනි තරගය එල්සැල්වදෝරයේදි පැවැත්වෙනවා. මෙහිදි සැල්වදෝර් වැසියන්ද එකට එක කරමින් හොන්ඩියුරාස් කණ්ඩායමට රාත්‍රිය පුරාම හෝටලය අසල ශබ්ද කරමින් බාධාකර තිබෙනවා. දෙවැනි තරගය ආරම්බයේදි ක්‍රිඩාගාරයේ හොන්ඩියුරාස් කොඩිය වෙනුවට ඔසවා තිබුනේ අපිරිසිදු රෙදි කඩක් විමද විශේෂය.එල්සැල්වදෝරය ගෝල 3-0 ලෙස ජයගනි.‍තරගයෙන් පසු දෙරටේම වාර්ගික ගැටුම් සිග්‍රයෙන් ඉහලගියේය.

අවසන් තීරණාත්මක තරගය 1969 ජුලි 26 වැනි දින මෙක්සිකෝ සිටි හි පැවැත්වු අතර ගෝල 3-2 ලෙස එල්සැල්වදෝරය ජයගෙන පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීය.

මේත් සමගම හොන්ඩියුරාස් තුල සැල්වදෝර් වැසියන්ට අයත් බිම් විනාශ කරමින් මාරා දමමින් ගැටුම් උපරිම මට්ටමකට ලගාවිය. රාජ්‍ය දෙක අතර රාජ්‍යතාන්ත්‍රික සබදතාව අත්හැර දැමු අතර 1969 ජුලි 14 දින එල්සැල්වදෝර් ගුවන්හමුදා හොන්ඩියුරාසයේ ප්‍රධාන ගුවන්තොටුපලට බෝම්බ හෙලනු ලැබුවා. ජුලි 15 වැනි දින භුමියේ සටන් ඇරබුණු අතර සැල්වදෝර් හමුදා හොන්ඩියුරාස් අගනුවර වෙත ඇදෙන්නට වුනා. මේ අතර හොන්ඩියුරාස් ගුවන්හමුදා ද සැල්වදෝර් ගුවන්තොට හා ඉන්ධන ගබඩා වෙත බෝම්බ හෙලනු ලබනවා. නිකර්ගුවා ව හොන්ඩියුරාසය වෙත යුධා ආධාර සැපයීය.

හොන්ඩියුරාසයේ ඉල්ලිම මත Organization of American States මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත් වන අතර සම්බාධ පැනවිමේ තර්ජනය, යුධ ශක්තියේ හීනකම, ඉන්ධන යුධායුධ හිගය වැනි කරුණු හේතුවෙන් එල්සැල්වදෝරයද හොන්ඩියුරාස් හා සටන් විරාමයකට එකග වනවා. පසුව අගොස්තු මාසයේදි සැල්වදෝර් හමුදා හොන්ඩියුරාසයෙන් ඉවත්කරගන්නා අතර විශාල අනවසර සංක්‍රමණිකයින් පිරිසක් නැවතත් එල්සැල්වදෝරය වෙතටම පැමිනෙනවා.

හොන්ඩියුරාස් පරදා 1970 ලෝක කුසලානයට ගිය එල්සැල්වදෝරයට මොකද වුනේ?
බෙල්ජියමට එදිරිව ගෝල 3-0 කින්ද,  මෙක්සිකෝවට එදිරිව ගෝල 4-0 කින්ද,සෝවියට් රුසියාවට එදිරිව ගෝල 2-0කින්ද පරාජය වෙමින් මූලික වටයෙන්ම ගම්බිම් බලා ඒමට සිදුවෙනවා. 


ජීවිත සියගනක් අහිමිකල යුද්ධය පැවතුනේ දින 4 පමණ කාලයක් පමණයි. නමුදු පාපන්දු යුද්ධය නිසා රටවල් දෙකෙහිම ඇතිවු දේශපාලන ආර්ථික හා සාමාජිය ගැටලු රාශියක් අදද නිරාකරණය වි නැ.නමුත් මේ ගැටලුව නිසා බහුජාතික කෙසෙල් සමාගම් නම් හොදහැටි මඩිය තර කරගත්තා.



- රොෂින් ප්‍රනාන්දු




No comments:

Post a Comment