Tuesday, July 31, 2018

ගුවන් යානාවලට ජල ප්‍රහාර!!!

ජල ප්‍රහාරයක් කියලා කිව්ව ගමන් අපිට හිතට එන්නේ එලවලා දාන්න එල්ල කරන ප්‍රහාරයක් කියලා නේ.
නමුත් මේ ජලප්‍රහාරය එල්ල කරන්නේ එලවලා දාන්න නෙවෙයි, සාදරයෙන් පිලිගන්නටයි.
අද  ආකාස කතාව දිගහැරෙන්නේ ඒ ගැනයි.





රථ දෙකක් මගින් ඉහලට එල්ල කරන අධික ජලධාරාවක් මැදින් ගමන් කරන ගුවන්යානාවල දර්ශණ ඔබ දැක ඇති. කලාතුරකින් දකින්නට ලැබෙන මෙම චමත්කාර දර්ශණය හැදින්වෙන්නේ ‘‘Water Salute‘‘ ලෙසයි.





වෝටර් සැලූට්, ගුවන්යානාවකට ලබාදෙන්නේ විශේෂ අවස්ථාවකදි.
එනම් මංගල/අවසන් ගුවන්ගමන, නව ගුවන් යානාවක් පැමිණිම, ජයග්‍රාහි කණ්ඩායමක් / වැදගත් පුද්ගලයෙක් රැගෙන ඒම හෝ ගුවන් නියමුවකුගේ අවසන් චාරිකාව වැනි විශේෂ අවස්ථාවලදීයි.


මේ ආචාර ක්‍රමය  මුලින්ම යොදාගත්තේ නාවුක ක්ෂේත්‍රයේදි. තම මංගල ගමනේ යෙදෙන නෞකාවක් වරායෙන් පිටත් වන විට හෝ වරායට ලගාවන විට ගිනිනිවන බෝට්ටු වලින් අලංකාර ලෙස ජලධාරා ඉහලට විදිමින් පිලිගැනිම සිදුකලා. ඩෙල්ටා ගුවන්සේවයේ ගුවන්නියමුවෙක් විශ්‍රාමයන අවස්ථාවක සෝල්ට් ලේක් සිටි ගුවන්තොටුපලේදි මෙය භාවිතාකිරිමත් සමග  ගුවන් ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙනවා.

මෙය ඉතා පරිස්සමින් පාලනයෙන් සිදුකල යුතු අතර ගැලුම් දහසකට වඩා ජලය භාවිතා කරනවා. අදාල ගුවන්යානාවට මෙන්ම නවතා ඇති අනෙකුත් ගුවන්යානා වලට හානියක් නොවන ලෙස මෙය සිදුකල යුතුයි. එමෙන්ම ගිනිනිවන රථ වලින් ජලය විදිනු දැක මගීන් භිතියට පත්වීමට පෙර, ආචාරය පිලිපදව ගුවන් නියමුවන් යානාවේ මගීන්ව පලමුව දැනුවත් කල යුතුමයි. 

සැලකිය යුතු තරම් ජලහානියක් වන බව සිතුනද,  මෙම අභ්‍යාසය ගිනිනිවන බටයන්ට තම යන්ත්‍රවල කාර්යය පරික්ෂා කිරිමටද ලැබෙන මහඟු අවස්ථාවක්ද වෙනවා.

ඔබේ ගුවන්ගමනකදි මෙවැනි ජල උත්තමාචාරයක් අත්විදින්න ලැබුනානම්, ඔබේ අත්දැකිම කමෙන්ටුවකින් සටහන් කරන්න අමතක කරන්න එපා!

- රොෂීන් ප්‍රනාන්දු


No comments:

Post a Comment