Thursday, July 12, 2018

ඒරොප්පේ කූඩැලි වෙදකම

පණම් දෙකක් සොයාගන්න දනක් වතුරේ බැස කූඩැල්ලන්ට ලේ දන් දිදි කරන රස්සාවක්!
තවෙකෙකු සුවපත් කිරිමට තම ඇටමස් ලේ දියකල තවත් එක් වෘත්තිකයන් පිරිසක්
මේ දිග හැරෙන්නේ
ඒරොප්පේ කූඩලු එකතුකරන්නන්ගේ කතාන්දරයයි.





වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයන් සදහා කූඩැල්ලන් භාවිතා කිරිම අෑත අතීතයේ මිසරය දක්වා දිවෙයි. රෝගයක් වැළදුනු විට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සිරුරෙන් ‘‘කුණු ලේ‘‘ ඉවත් කිරිම සුදුසු යැයි සම්මත කරගත් වෛද්‍යවරුන්,  කැපුම් යෙදීම, කූඩැල්ලන් භාවිතය වැනි විවිධ ක්‍රම මගින් ලේ ඉවත් කිරිම සිදුකර ඇත. 

වසර සිය ගනනක් දේශ දේශාන්තර වල සිදුකෙරෙමින් පැවැති කූඩැලි වෙදකම්, මධ්‍යතන යුරෝපයේ හිස එසැවිම ඇරෙබෙන්නේ ප්‍රංශ  වෛද්‍යවරුන්ගේ නොමද සහයෙනි.  ඉන්පසු හිස් කැක්කුමේ සිට සෑම රෝගයක් සදහාම පාහේ කූඩැල්ලන් ඇග අැල්වීම සිදුකරන්නට විය.  දත් කැක්කුම් වැනි අවස්ථාවලදිද මුඛයේ කූඩැල්ලන් රැදවීමට එවක වෛද්‍යවරුන් කටයුතු කල බව ඔබ දන්නවාද?

19 වැනි සියවසේ මුල් භාගයේදි පමණ ඇමරිකාවේ හා යුරෝපයේ  කූඩැල්ලන් ප්‍රතිකාර පෙර නොවූ විරු පරිදි ඉහල ගිය අතර වසරකට මිලියන ගනනින් භාවිතා වු බවට සාදක ඇත.  කූඩැල්ලන් සදහා ඉහල ඉල්ලුමක් පැවති අතර රට අභ්‍යන්තරයෙන්  කූඩැල්ලන් ප්‍රමාණවත් ලෙස සොයාගැනිමට නොහැකි වූ විට  යුරෝපය රටවල් වෙත යුරෝපයේම හෝ බාහිර රටවල් වලින් ආනයනය කරන්නට විය. 



කූඩැල්ලන් එකතුකරන්නකුගේ දිනපොත
යුරෝපයේ බොහෝවිට කූඩැල්ලන් එකතුකිරිමේ කාර්යයේ නිරතව වගුරු ආශ්‍රිතව ජිවත් වන දිළිදු පිරිස් වන අතර බොහෝවිට කාන්තාවන්ය. කූඩැල්ලන් ගහන වගුරේ බැස තම නග්න පාදයේ එල්ලි ලේ උරාබිමට තැත්කරන කූඩැල්ලන් අල්වා වට්ටියකට දමාගැනිම සිදුකරන්නීය.  ප්‍රමාණවත් තරම් කූඩැල්ලන් එකතු වූ විට වෛද්‍යවරුන් වෙත විකිණිම සිදුකලද මහන්සියට ප්‍රමාණවත් තරමේ අගයක් නොලැබේ.



කූඩැල්ලන් විසින් ලේ උරාබිම නිසා එකතුකරන්නන් ගේ සිරුරින් සැලකිය යුතු රුධිරයක් ඉවත්වන අතර නිරන්තරයෙන් ආසාදනයන්ටද ලක්විම දැකිය හැකි විය. සමහරුන් දැඩි ලෙස අසාධ්‍ය වී දියෙහි වැටිසිටි අවස්ථාද ඇත. 

අශ්වයන් යොදාගන්නා අයුරු

වයෝවෘද අශ්වයන් වගුරේ රදවා කූඩැල්ලන් අල්වා ගැනිමද ඇතැමුන් සිදුකර ඇතත් වඩාත් බහුලව සිදුකෙරි ඇත්තේ තමන් විසින්ම දියේ බැස කූඩැල්ලන් එකතු කිරිමයි.

කූඩැලි උමතුවේ අභාවය
1850 පමණ වන විට අධික පරිභෝජනය හේතුවෙන් බ්‍රිතාන්‍ය ඇතුලු යුරෝපයේ අනෙකුත් ප්‍රදේශ වලින් කූඩැල්ලන් බෙහෙතට සොයාගැනිමට අපහසු විය. සමහර කූඩැල්ලන් විශේෂ බ්‍රිතාන්‍යයෙන් නෂ්ඨ ව ගියේය. ආසියාවෙන් ආනයනය කිරිමට අධික මුදලක්ද වැයවිය. 

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග නව ප්‍රතිකාර ක්‍රම කරළියට පැමිණි අතර කූඩැල්ලන් යොදාගෙන සිදුකරන ප්‍රතිකාර ක්‍රමයෙන් අභාවයට ගියේය. 

අදද විවිධ වෛද්‍ය විද්‍යාත්මක පරික්ෂණ ඇතුලු  කාර්යයන් සදහා කූඩැල්ලන් යොදාගත්තද කැලයෙන් අල්ලාගැනිම වෙනුවට  කූඩැලි ගොවිපල  ආශ්‍රයෙන් ලබාගනි.

කූඩැල්ලන් එකතුකරන්නන් වෙනත් රැකියා කරා යොමුවූ නමුදු ඇතිවූ සංකූලතා  නම් ඔවුන් අතැර නොයන්නට ඇත.

යුරෝපයේ මධ්‍යතන යුගයේ පැවැති අරුම වෛද්‍ය ප්‍රතිකරයන් ගැන ඉදිරි ලිපි වලදි කතා කරමු.
එතෙක් සුබ දවසක්!

- රොෂින් ප්‍රනාන්දු


No comments:

Post a Comment