Friday, July 13, 2018

කටහඩ වෙනස් කරන හීලියම් !!!

හීලියම් භාවිතා කිරිමෙන් මිනිස් කටහඩ වෙනස් කල විවිධ අවස්ථා ඔයාලා දැකලා ඇති.
හීලියම් වායුවෙන් අපේ කටහඩ වෙනස් වෙන්නේ කොහොමද?
 හඩ වෙනස් කරන්න පුලුවන් හීලියම් වලට විතරද?



අවර්ණ හා ගන්ධ රහිත හීලියම් (He) ආවර්ථිතා වගුවේ දෙවැනි මූලද්‍රව්‍ය වන අතර නිෂ්ක්‍රිය වායුවක් බව ඔබ දන්නවා ඇති. වාතයට වඩා කීප ගුණයක් සැහැල්ලුයි. හිලියම් වායුවට අමතරව සල්ෆර් හෙක්සාෆ්ලොරයිඩ් (SF6) ද හඩ වෙනස්කිරිමට යොදාගත හැක.







මිනිසාගේ හඩ නිපදවන්න හැටි




මිනිස් ස්වසන පද්ධතියේ ස්වරාලය(Larynx) ලෙස හැදින්වෙන කාටිලේජ වලින් තැනුනු අවයවයක් තියනවා. ස්වරාලය තුල ස්වර තන්ත්‍ර දෙකක් පිහිටා තිබෙනවා. මේ ස්වර තන්ත්‍ර හරහා වාතය ගමන් කරන විට ඇතිවන චලන හේතුවෙන් ශබ්දය උපදිනවා. 

ස්වර තන්ත්‍ර ආශ්‍රිතව පිහිටන පේශිවල ක්‍රියාකාරිත්වය නිසා තන්තු වල ආතතිය වෙනස් කල හැකි අතර, වැඩි ආතතියේ යුතු අවස්ථාවල උස් සංඛ්‍යාතයකින් යුතුවද, අඩු ආතතියකදි පහල සංඛ්‍යාතයකින් යුතුවද ශබ්දය නිපදවනවා. මෙසේ නිපදෙන ශබ්දය ඉන්පසු උගුර, නාසා, මුඛ කුහරය, හනු, තල්ල, දිව හා දත් වල වැදි දෝංකාරයන් ඇතිවි අවසන විවිධ සංඛ්‍යාත වල ශබ්දයන්ගේ එකතුවක් ලෙස අපගේ කටහඩ ඇතිවෙනවා. 

හීලියම් ආඝ්‍රාණය කල විට,

හීලියම් මගින් ඔබේ ස්වර තන්ත්‍ර වල කම්පනයට බලපෑම් සිදු නොකරයි. නමුදු වාතයට වඩා හීලියම් සැහැල්ලු වන බැවින් හීලියම් හරහා  ශබ්ද තරංග වැඩි වේගයකින් ගමන් කරයි. මේ හේතුවෙන් උගුර මුඛ කුහරය අැතුලු පථයේ ශබ්දය වැදිමෙන් ඇතිවන ශබ්දයන්ගේ  ස්වභාවය පෙරට වඩා වෙනස් වේ. උස් සංඛ්‍යාතයකින් යුතු ශබ්ද වැඩිවශයෙන් වර්ධනය/විස්තාරනය වේ. මේ හේතුවෙන් පිටවන කටහඩේ තිව්‍රර බව වැඩිය.




සල්ෆර් හෙක්සාෆ්ලොරයිඩ් ආඝ්‍රාණය කල විට,

හීලියම් වලදි මෙන් සල්ෆර් හෙක්සාෆ්ලොරයිඩ් මගින්ද ස්වර තත්‍ර වල කම්පනයට සෘජු බලපෑමක් නොකරයි. නමුදු හීලියම් මෙන් නොව, වාතයට වඩා සල්ෆර් හෙක්සාෆ්ලොරයිඩ් බරෙන් වැඩිය.  එබැවින් ශබ්දය සල්ෆර් හෙක්සාෆ්ලොරයිඩ් මාධ්‍යයේ ගමන් කරන්නේ සෙමිනි. මේ නිසා ශබ්ද තරංග අනෙකුත් අවයව හා පටක මත වැදිමෙන් වන දෝංකාරයන් වල හැසිරිම සපුරා වෙනස් වන අතර  වඩාත් ඉස්මතු වන්නේ අඩු සංඛ්‍යාතයකින් යුතු ශබ්දයි. එබැවින් පිටවන ශබ්දයේ ගොරෝසු රළු බව වැඩිය.


විනෝදයට හීලියම් ආඝ්‍රාණය කරලා සතුටක් ලබාගත්තාට පරිස්සමින් කල්පනාවෙන් සිදුකල යුතුයි. අධික ලෙස හිලියම් අඛණ්ඩය ආඝ්‍රාණය කිරිමෙන් ස්වසනයට අවශ්‍ය ඔක්සිජන් නොලැබි යා හැකියි. එමෙන්ම කිසි විටෙකත් සෘජුවම විශාල හීලියම් ටැංකි වලට සම්බන්ධිත බට මගින් හිලියම් ආඝ්‍රාණය කරන්න යන්න එපා. සල්ෆර් හෙක්සාෆ්ලොරයිඩ් වාතයට වඩා බරින් වැඩිනිසා අධික ලෙස නිරාවරණය වීම නුසුදුයි.

දැනුවත්ව විනෝද වෙන්න!!!

- රොෂීන් ප්‍රනාන්දු  

No comments:

Post a Comment