Thursday, July 19, 2018

ඇමරිකානු මුද්‍රාවෙන් ඔත්තු බැලු රුසියානුවෝ

 ඇමරිකාව හා රුසියාව විවිධ ක්‍රම භාවිතයෙන් එකිනෙකාගේ ඔත්තු බැලීම සිදුකරන බව ඔබ දන්නවා ඇති.
අද කතාවත් දිගහැරෙන්නේ රුසියාව විසින් ඇමරිකාව පිලිබදව ඔත්තු බැලිමට යොදාගත් අරුම පුදුම ක්‍රමයක් ගැනයි.



1945 අගොස්තුවේ එනම් දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමට ආසන්න සමයේදි රුසියානු පාසල් දරුවන් පිරිසක් විසින් එවක රුසියාවේ ඇමරිකානු තානාපති ඇවරල් හැරිමන් මහතා වෙත ඇමරිකානු රාජ්‍ය මුද්‍රාව නිරුපීත ලී කැටයමක් ප්‍රදානය කරනවා. මෙය පිරිනමන දෙරටේ මිත්‍රත්වයේ සංකේතයක් ලෙසයි. මෙම ලී කැටයම  මොස්කව් හී පිහිටි ඇමරිකානු තානාපති නිල නිවාසයේ තානාපතිවරයා නිතර ගැවසෙන කාර්යාලයේ  සවිකරනු ලබනවා.

බැලූ බැල්මට මෙය කැටයමක් ලෙස පෙනුනත්, ඇත්තෙන්ම මෙය රහසේ සවන්දියහැකි ඔත්තුබලන උපකරණයක්. මෙය බැටරි හෝ විද්‍යුත් පරිපථ රහිතව ක්‍රියාකිරිම විශේෂත්වයක්.

කැටයම ඇතුලත ඇටවුම සගවා තිබු අයුරු (අනුරුවකි)

මේ නව ඔත්තුබැලිමේ උපකරණය සාදනු ලබන්නේ රුසියානු විද්‍යාඥ ලියෝන් තර්මින් විසින්. ලී කැටයමේ අභ්‍යන්තරයේ  ධ්වනි තරංග වලට අනුව කම්පනය වන පටලයක් සහිත ඇටවුමක් හා කුඩා ඇන්ටනාවක් ඇතුලත්. පෙර සදහන් කල පරිදි බැටරි අන්තර්ගත නොවු අතර එය ක්‍රියාකරන්නේ බාහිරින් ලැබෙන සුදුසු සංඛ්‍යාතයේ රේඩියෝ තරංග මගිනුයි. ඉන්පසු උපකරණයෙන් නිකුත් කරන තරංග, තානාපති මන්දිරයට නුදුරේ රැදිසිටින රුසියානු ඔත්තුකරුවන් විසින්  ග්‍රහණය කරගන්නවා.




බැටරි රහිත වීම, ඉතා කුඩා ඇටවුමක් වීම හා ඉලෙට්‍රොනික පරිපථ රහිතවිම, බාහිරින් ගැලපෙන තරංග ඔත්තුකරුවන් විසින් ලබාදෙන තුරු උපකරණය ක්‍රියාත්මක නොවිම යන කරුණු මත  ඔත්තු බැලිමේ උපකරණය ඇමරිකානුවන්ට අනාවරණය වීමේ හැකියාව ඉතාම අවම විය. 

මෙය උපයෝගිකරගෙන වසර 7කට ආසන්න කාලයක් රුසියානුවන් විසින් ඇමරිකානු සංවාද අසා සිටි බව ඔබ දන්නවාද? 

1951 වසරේ එක්තරා දිනෙක රුසියාව ඔත්තුබලමින් සිටින විට,  බ්‍රිතාන්‍ය ගුවන්විදුලි ක්‍රියාකරන්නෙකුට ද එක්වරම ඇමරිකානු නියෝජිතයන් අතර ඇතිවන සංවාදයක සංඥා ලැබෙන්නට විය. මේ පිලිබදව ඇමරිකානු තානාපති කාර්යාලයට දැනුම්දුන් අතර  ඔවුන් විසින් පරික්ෂාවට ලක්කල යන්ත්‍රය හසුවුයේ නැත. පසුව නැවතවරක් තානාපති කාර්යාල සේවකයකුගේ  ග්‍රාහකයටද  සංඥා ලැබෙන්නට විය.

පසුව මේ පිලිබදව පරික්ෂණ කිරිමට පැමිණි කණ්ඩායමක් විසින් රාජ්‍ය මුද්‍රා ලී කැටයම තුල සගවා තිබූ උපකරණය සොයාගැනිමට සමත්විය.  සරලබව නිසා මෙය සත්‍ය ලෙසම රහසේ සවන්දියහැකි උපකරණයක්දැයි ඇමරිකානුවන් තුල පවා සැකයක් පැවතින. සිදුකරනු ලැබූ පරික්ෂණ අනුව ඇටවුමේ සැකැස්ම හදුනාගත් ඔවුන් මෙය වැඩිදියුණු කිරිමට තීරණය කලේය.

ඇමරිකානු තානාපති කාර්යාලයෙන් රුසියානු ඔත්තුබැලිමේ උපකරණයක් හමුවු බව රහසක් ලෙස තබාගැනිමට ඇමරිකානුවන් පියවර ගති. එමගින් උපකරණය වැඩිදියුණු හා සතුරාට එදිරිව භාවිතා කිරිමට ඔවුන්ගේ අභිලාශය විය.


අනාවරණය කරන අවස්ථාව

ඇමරිකානුවන් the Great Seal bug ලෙස හැදින්වූ මෙම උපකරණය ප්‍රසිද්ධ මාධ්‍යට නිරාවරණය වන්නේ,  U2 සිද්ධියෙන් (මේ කතාව ඉදිරි ලිපියකින්!) පසුව ඇමරිකාව විසින් රුසියාවේ ඔත්තු බලන බවට චෝදනා කිරිමත් සමගයි. ප්‍රතිඋත්තර සැපයිමක් ලෙස ඇමරිකාව the Great Seal bug මාධ්‍ය වෙත හෙලිකලේ රුසියාවද තමන්ගේ තානාපති කාර්යාල වල  ඔත්තුබලන උපකරණ සවිකර ඇති බව පවසමිනි.

වරෙක මිතුරු වෙයි
වරෙක සතුරු වෙයි
මිතුරු උවද
සතුරු උවද
ඔත්තු බැලීම අත්නොහරි
එදත් අදත් එසේමය!

- රොෂීන් ප්‍රනාන්දු

2 comments:

  1. ඇමරිකාවයි - රුසියාවයි අතර උන කතා බොහොමයි.... ඒවායේ රසවත් වගේම අති අමානුෂික සිද්ධිත් ගොඩක් තියනවා.

    ReplyDelete