Monday, July 16, 2018

ලෝක යුද්ධයේ සටන් වැදි වලස් සෙබළා

දෙවැනි ලෝක යුද්ධයේ දී මිත්‍ර පක්ෂ හමුදා එක්ව සටන් වැදි අරුම පුදුම වලස් සොල්දාදුවෙක් පිලිබද ඔබ අසා තිබේද?





දෙවැනි ලෝක යුද්ධයේ ආක්‍රමණ හේතුවෙන් වැඩකදවුරු (ගුලාග්ස්) වලින් නිදහස ලත් පෝලන්ත ජාතිකයන් එකතු කර යුධ සේනා සංවිධානය කලා. එවැනි පෝලන්ත බලැණියක් 1942 වසන්ත සෘතුවේදි ඉරානය වෙත ලගා වෙනවා.  හමදාන් හී ගිමන් හරින ඉසිඹුවේ සෙබලුන් කරා  කුඩා ඉරාන පිරිමි දරුවෙක් කදක්ද ඔසවා පැමිණෙනවා. එහි වූයේ දඩක්කරුවන්ගේ වෙඩි පහරකින් මව මළ, අසරණ කුඩා වලස් පුංචෙක්. පෝලන්ත සෙබලුන් විසින් දරුවාගෙන් වලස් පැටියා ලබාගන්නවා.  සරණාගත තරුණියක් විසින් වලස් පැටියාව මව මෙන් රැකබලා ගන්නවා.  



මාස තුනක ඇවැමෙන් වලස් පැටියාව දෙවැනි සැපයුම් බලකාය (පසුව 22වැනි කාලතුවක්කු සැපයුම් බලකාය බවට පත්වූ) වෙත පිරිණමනවා. බලකායේ සෙබළුන් වලස් පැටියාට වොයිටෙක් (Wojtek) ලෙසින් නම් තබනවා. කෙටි කලකින් සැමගේ ආදරය දිනාගත් වෙයිටෙක්, සෙබළුන්ගේ ධෛර්ය වඩන හා සතුට කැන්දන්නෙක් බවට පත්වුනා. වෙයිටෙක් ගේ කිරිබෝතලය සකසා තිබුනේ වොඩ්කා බෝතලකිනි. පැණි පලතුරු වලට අමතරව වයින් හා බීර ද පානය කිරිමට පුරුදු වූ සත්ත්වයා විටෙක සිගරට් ද පානය (සපා කා) ඇත.


සෙබළුන් සෙවනේ නොමද ආදරය ලද වොයිටෙක් කාලයත් සමග වැඩුනු පෘෂ්ඨිමත් වලසෙක් බවට පත්විය. බලකාය සමග රටින් රටට ගමන් කල වෙයිටෙක්  මල්ලපොර ක්‍රීඩාකිරිමටද ආචාර කිරිමටද ඉගෙන ඇත.



සෙබලුන් සමග පොර

මේ ගමනේ පලස්තීනයේ ලැගුම්ගත් අවස්ථාවේ කදවුරට රහසින් ඇතුල්විමට තැත්කල අරාබි ජාතිකයෙක් ද වෙයිටෙක්ට බියවී අත්අඩංගුවට පත්විය. කාලයත් සමග බලකායේ නිල නොලත් සත්ත්වයා බවට වලස් පුංචා පත්විය.

අවසානයේ ඊජිප්තුවට පැමිණි බලකායට ඉන්පසු යුරෝපා සටන් සදහා 1943 දී ඉතාලිය වෙත යා යුතු විය. සත්ත්වයකුට සෙබළුන් සමග එක්ව යුධ පිටියට යැමට තිබු නිතිමය අවහිරතා හේතුවෙන්, වෙයිටෙක්ව යුධ බටයෙක් ලෙස බලකායට ඇතුලත් කරගත් අතර සාමාන්‍ය සෙබළෙකුට මෙන් පඩියක්, තනතුරක් හා අංකයක් ලබාදෙන ලදි. වලස් වෙයිටෙක්, කෝප්‍රල් වෙයිටෙක් බවට පත්වන්නේ එතැන් සිටයි. 

ඉතාලියට ගොඩබට සැපයුම් බලකායේ ප්‍රධානතම සටනක් ලෙස  1944 දී මොන්ටිකැසිනෝ සටන හැදින්විය හැක. මෙම සටනේදි  සෙබළුන් කාලතුවක්කු වෙත බරැති උණ්ඩ ගෙනයන අයුරු නිරික්ෂණය කල වොයිටෙක්ද එය අනුකරණය කරමින් පවුම් 100 පමණ බර කාලතුවක්කු උණ්ඩ පෙට්ටි ඉදිරි ගාත්‍රාවලින් ගෙන කාලතුවක්කු වෙත ගෙනගොස් තිබෙනවා. එකදු උණ්ඩයක් හෝ බිම පතිතවි නැති බවද මතක් කල යුතුයි.

සටනින් පසුව ලැබු අධික ජනප්‍රියතාව හේතුවෙන් 22වැනි කාලතුවක්කු සැපයුම් බලකායේ නිල සලකුණ බවට වොයිටෙක් පත්වුනා. ඔවුන්ගේ ලාංඡනයේද නිරුපනය වන්නේ කාලතුවක්කු උණ්ඩයක් රැගෙන යන වොයිටෙක් ය.



දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමත් සමග පෝලන්ත සෙබළුන් සමග වෙයිටෙක් ස්කොට්ලන්තයේ කදවුරු කරා පැමිණෙනවා. එහිදි බලකායේ වූ සෙබළුන් වෙනත් විවිධ සේවාඛණ්ඩ වෙත අනියුක්ත කිරිම නිසා වොයිටෙක් ගේ මිතුරන් බොහෝමයක්  සමුගන්නවා. 

වොයිටෙක් ගේ නව නිවස වන්නේ  එඩින්බරෝ සත්ත්වෝද්‍යානයයි. සත්ත්වෝද්‍යානයේ ආකර්ෂණිය සත්ත්වයකු බවට පත්වන අතර බොහෝ දෙනෙක් වොයිටෙක් බැලිමට පැමිණෙනවා. වොයිටෙක් විසිඑක් වියේදි  එනම්  1963 වසරේදි සදහටම සදා නින්දට වැටුනද  රටක් අහිමිවූ පෝලන්ත හමුදා වලට නව ජීවයක් ගෙනදුන් මේ පුංචි වලස් පැංචාගේ වීරවික්‍රම තවත් බොහෝකල් අපගේ සිහින වල රැදෙනු ඇත


- රොෂීන් ප්‍රනාන්දු


No comments:

Post a Comment