Monday, July 23, 2018

මොංගල් ආක්‍රමණයට හමුවේ අදෘශ්‍යමාන වූ නගරය

මොංගල්වරුන් ගේ ආක්‍රමණ ගැන ජනේලයෙන් පෙර අවස්ථාවලදිත් කතා කරලා තියෙනවා ඔබට මතක ඇති.
අද දිගහැරෙන්නේ 
මොංගල් ආක්‍රමණ හමුවේ අතුරුදහන් වූ රුසියවේ ඇට්ලාන්ටිස් බඳු
කිතෙශ් නගරය ගැනයි.



කිතෙශ් (Kitezh / Китеж) නැමැති මෙම අතුරුදහන් වූ නගරයේ කතාන්දරය අපට හමුවන්නේ රුසියානු ජනප්‍රවාද ආශ්‍රයෙනි. රුසියාවේ මුල්ම අවධිය දක්වා දිවෙන පැරැණි කිතෙශ් පුරාවෘත්තය පිලිබද පලමු ලිඛිත සාධක හමුවන්නේ 18 වැනි සියවසේ අගභාගයේ ලියැවුණු කිතෙශ් වංශකථාව (Kitezh Chronicle) නම් කෘතියෙනි. ජනප්‍රවාදයක් වුවද සත්‍යයක් වුවද කිතෙශ් නගරය වටා බැදුණු කතාන්දරය පුදුම එලවන සුලුය.

ස්වෙත්ලොයාර් විල අද


13 වැනි සියවසේ දෙවැනි යූරි කුමරු (දෙවැනි ජෝර්ජ්)  විසින් වොල්ගා ගංගාවේ අතුගංගාවක් ආශ්‍රිතව මනරම් භූමියක කිතෙශ් නගරය (කුඩා කිතෙශ්) ගොඩනගනවා. පසුව ඔහු විසින් ස්වෙත්ලොයාර් විල් තාවුල්ලේ දැකුම්කලු භුමීයක තවත්  නගරයක් (මහා කිතෙශ්) පිහිටුවනවා.



කුමරා විසින් කිතෙශ් නගරය ශ්වේත පාශාණයෙන් තැනු දේවාස්ථාන ඇතුලු නගරාංග වලින් සමන්විත මනරම් නගරයක් බවට පත්කල අතර බැතිමතුන්ගේ වන්දනීය ස්ථානයක්ද බවටද පත්විය.



විරාජමානව වැජඹුණු මහා කිතෙශ් නගරය වලට කණකොකා හඩන්නේ මොංගල් අධිරාජ්‍යයේ සෙවනැලි වැටිමත් සමගයි. 1237 නොවැම්බරයේ මොංගෝලියානු නායක බටු කාන් විසින් තමාට පක්ෂපාතිව රාජ්‍යපාලනය ගෙනයන ලෙසදන්වමින් දෙවැනි යූරි කුමරු වෙත දූතයන් පිටත්කරනවා. නමුදු යූරි කුමරු එම යෝජනාව ප්‍රතික්ශේෂ කිරිමත් සමග 1238 දී බටුකාන් ගේ හමුදා දෙවැනි යූරි කුමරුට අයිති භූමිය ආක්‍රමණය කරනවා. 

බටු කාන්

ආක්‍රමණික මොංගල් හමුදා යූරි කුමරුන්ගේ භූමිය අත්පත් කරගමින් ඉදිරියට ඇදීඑම හමුවේ පසුබසින යූරි කුමරුගේ හමුදාව කිතෙශ් වෙත පසුබසිනවා. කුඩා කිතෙශ් සටනින් පහසු ජයක් ලබා බටුකාන් ගේ සේනාව එය අත්පත්කරගනිද්දි  යූරි කුමරු මහා කිතෙශ් වෙත විතැන් වේ.
මහා කිතෙශ් ද අත්පත්කරගැනිමේ බටුකාන් ගේ ගමනට එක් බාධයකයක් විය. එනම් ඝන කැලැවකින් වැසි තිබූ මහා තිතෙශය පිහිටි ස්ථානය කිසිවෙකු නොපැවසීමයි. සෙබළුන් විටෙක කෘර හිංසා කරමින්ද විටෙක අල්ලස් දෙමින්ද රුසියානු සිරකරුවන්ගෙන් මහා කිතෙශ් වලට මග විමසූවද සැවොම නිහඬය. නමුදු අවසානයේ  එක් රුසියානුවෙක් මහා කිතෙශ් වෙත මොංගල් හමුදා ගෙනයෑමට ඉදිරිපත් විය. 

මොංගල් හමුදා මහා කිතෙශ් කරා ලගා වන විට ඔවුන්ට කිසිදු ප්‍රතිරෝදයක් පැන නැගුනේ නැත. තම ආක්‍රමණය හමුවේ කිසිදු රැකවරණයක් හෝ යුධ සංවිධානයකින් තොරවීම පිලිබදව මොංගල් හමුදා පුදුම වූ බව පැවසේ.

සටන් කිරිමට කඩු පසෙක දැමූ නගර වැසියෝ නගරය මැදට රැස්ව දෑත් ඔසවමින් දෙවියන් යදින්නට විය. තම ශුද්ධවූ භූමිය රැකදෙන මෙන් දෙවියන් යදින මහා සෙනගක් මොංගල් හමුදාවේ නෙත ගැටිනි.

එක්වරම සිතාගත නොහැකි විශ්මයකි!


භුමියෙන් මතුවු සියගනනක් වූ උල්පත් වලින් ජලය පිටතට ගලන්නට විය. නගර වැසියන් දෙවියන් යදිමින් සිටියදි කෙමෙන් කෙමෙන් යටවෙන්නට විය. මේ අරුමය හමුවේ  ත්‍රාසයට හා භිතියට පත් මොංගල් හමුදා ආරක්ශිත ස්ථානය කරා දිවයන්නට විය. මොංගල් හමුදාවේ දෑස මානයේදි මහා කිතෙශ් නගරය ජලයෙන් යටව අතුරුදහන් විය. කිතෙශ් ජනප්‍රවාදයක් බවට පත්විය.


නගරය අැතැයි සැලකෙන ස්ථානයේ අද වන විට ස්වෙත්ලොයාර් විල පවති. ඇතැමෙක් කිතෙශ් යනු රුසියාවේ ඇත්ලාන්ටිස් නගරය ලෙස හදුන්වන අතර පිරිසිදු සිත් ඇත්තෙක්ට අදද  කිතෙශ් දැකිය හැකි බව විශ්වාසයයි. ඉතා නිශ්ශබ්ද දිනවල විල ආශ්‍රිතව ගිලිගිය නගරයේ දේවස්ථාන වල ඝන්ඨා නාදය ඇසෙන බව පැවසේ.  බැතිමතුන්  විලේ  ජලය ශුද්ධවූ ජලය සලකන අතර දෙවැනි ලෝක යුද්ධ සමයේදි සටන් පෙරමුණේ සටන් වදින තම පුතුන් වෙනුයෙන් යාඥා කිරිම සදහා මව්පියන් විල අසලට පැමිණ ඇත.



පුරාවිද්‍යාඥයින් විල ආශ්‍රිතව සිදුකරනු ලැබු ගවේෂණ වලින් මෙහි මිනිස් වාසස්ථානයක් තිබු බවට සාක්ෂි සාධක හමුවී ඇත. එමෙන්ම මේ ප්‍රදේශයේ නායයෑමක ලක්ෂණද දැකියහැකි අතර මෙහි වූ වාසස්ථාන නායයැමක් නිසා විනාශ වූවාදැයි සැකයක්ද පවති. එමෙන්ම කිතෙශ් නගරය ගිලිගියේ නගරවැසියන් විසින් විලේ සිට නගරයට ජලය ගෙනයන උමං බිදදැමිමෙන් බවද මතයක් පවති.  සිදුකෙරෙන පුරාවිද්‍යා ගවේෂණ අනුව  කිතෙශ් නගරය පැවතීම හා විනාශවූයේ කෙසේද යැයි දිනෙක නිෂ්චිතව හෙලිවනු ඇත.

කිතෙශ් හි අතුරුදහන්විම මිත්‍යාවක් වුවද, සත්‍යයක් වුවද කතාන්දරය තවත් බොහෝ කල් සිත්තුල ජිවමානව පවතිනු ඇත.

- රොෂින් ප්‍රනාන්දු 

ප.ලි.
මෙය ජනේලයේ පලවන 350වැනි ලිපියයි.
 පාඨක ඔබ නොමැතිනම්  මේ කඩඉම සිහිනයක්ම වනු ඇත.
කමෙන්ටුවකින්/ මූනුපොතෙන්/ මේල් එකකින්/ ලයික් එකකින්  දිරිගැන්වූ ඔබ සැමට ස්තුතිය!
ඉදිරියේදි තවත් දැනුමින් අනූන ලිපි බලාපොරොත්තු වන්න!
ඔබ සැමට ජයෙන් ජය!


3 comments: