Friday, July 20, 2018

ඇක්ටිව් කාබන් ගැන ඔබ දැනුවත් ද?

සබන් කෑල්ලේ ෆේස් වොශ් එකට පමණක් නොවන විවිධ කෑම සදහාත් අද විට ඇක්ටිව් කාබන් භාවිතා වෙනවා.
මොනාද මේ ඇක්ටිව් කාබන් කියන්නේ?






මේ දවස් ටිකේම ජනේලයෙන් දිග හැරුනේ යුද්ධ  කතාන්දර නිසා, එදිනෙදා ජිවිතයට වැදගත් වන කාරණාවක් ගැන කතා කරන්න හිතුවා.

ඇක්විට් කාබන් ලෙස බොහෝ දෙනා දනිතත් මෙය හැදින්වීමට වඩාත් සුදුසු යැයි මා සිතන්නේ සක්‍රීයක අඟුරු (activated charcoal) ලෙසයි. අඟුරු යනු කාබන් වල ස්වරුපයක් වන අතර පොල්කටු, දැව වැනි කාබන් අධික ද්‍රව්‍ය අර්ධ දහනයෙන් ඉතිරිවන අස්ඵටිකරූපි කාබන් සහිත සවිවර කළු පැහැ ශේෂයන් වේ. අඟුරු භෞතික හා රසායනික ක්‍රියාවලියකට භාජනය කිරිමෙන් සක්‍රීය කල අඟුරු (activated charcoal) සාදාගනි.

අඟුරු වල සැකැස්ම අනුව එහි මතුපිට ඉතා කුඩා විවර/ජිද්‍ර (pores) ඉතා විශාල ප්‍රමාණයක් අැත. මෙම සිදුරු මගින් මතුපිට පෘෂ්ඨ වර්ගඵලය අතිශයින් වැඩි කරයි. ආසන්න ලෙස ග්‍රෑම් එකක කාබන් අඟුරු මත වර්ගමීටර් දහස ඉක්මවූ ක්ෂේත්‍රඵලයක් ඇතැයි පැවසේ. මෙමගින් අධික ලෙස බාහිරට නිරාවරිත සක්‍රිය කලාපයක් ඇතිකරයි.



මෙසේ නිරාවරිත අධික පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය මත අනෙකුත් අණු/සංයෝග වර්ග, අධිශෝෂණය (adsorption) යටතේ බැදී සිරකරගැනිමේ හැකියාවක් පවති. එනම් විවිධ අංශූන් හා සංකීර්ණ  අණු   වැන්ඩවාල් බල වැනි අන්තර් අණුක ආකර්ෂණ බල යටතේ අඟුරු වල පෘෂ්ඨයට බැදිම සිදුවේ. 

පැරැන්නන් විසින් ළිං තුලට පිරිසිදු අඟුරු දමන බව ඔබ අසා ඇති. විද්‍යාත්මක දැනුමකින් තොරව උවද ඔවුන් එසේ අඟුරු ජලයට එක් කිරිම මගින් ළිදේ ජලය පිරිසුදු කරගැනිමට හැකියාව ලැබේ. මක් නිසාද යත් ඉහත  අධිශෝෂණ ක්‍රියාවලිය යටතේ බැදීමෙන්, ජලයෙහි  යම් අපද්‍රව්‍ය හා රසායනිකයන් වෙතොත් ඒවා ඉවත්කර ජල පවිත්‍රකරණ ක්‍රියාවලියක් සිදුකරයි.



එම නිසා වර්තමානයේ බොහෝ ජල පෙරණ වලද සක්‍රීය කාබන් අඩංගු වේ. මීට අමතරව වායු පවිත්‍රකරණය ඇතුලු විවිධ කාර්මාන්ත භාවිතයන් ද ඇත.

සක්‍රීයකල කාබන්, විසවීම්  හා ඖෂධ අධිමාත්‍රයන්ගෙන් ශරිරගත වූ අවස්ථාවල ඒවා ඉවත්කිරිම සදහා ද යොදාගනි. නමුදු මෙය අධික අම්ල භෂ්ම හෝ සයනයිඩ් ශරිරගතවූ විට භාවිතයෙන් පලක් නැත.

(විදේශයන් වල) ඇතැමෙක් ඇක්ටිව් කාබන්, මත්බව අඩුකරගැනිමට, ආහාර මාර්ගයේ වායු ඉවත්කිරිමට හා කොලෙස්ටරෝල් මට්ටම් පහත දමාගැනිමේ (යූටියුබයේ ඔබද දැක ඇති) අරමුණින් භාවිතා කලද , මෙතෙක් ඒවා වෛද්‍ය විද්‍යාත්මකව සනාථ වී නැත.


(සන්නාමය ප්‍රවර්ධනය නොකරමි)

විටෙක ඔබ භාවිතා කරන දන්තාලේපයේ හා මුහුණු ආලේපන වල කාබන් අඩංගු යැයි සදහන් ව ඇති. සක්‍රීයකල කාබන් භාවිතයෙන් දත් සුදු වන බවට සාක්ෂි සහිතව මෙතෙක් විද්‍යාත්මකව සනාථ වී නොමැත. සමේ / මුහුණේ ආලේපන වල කතාවත් එයමයි. 

Activated charcoal පිලිබදව දැනටත් බොහෝ පරික්ෂණ සිදුවෙනවා. ඉදිරියෙදි තවත් වැඩිදියුණු කල යෙදුම් එලිදකීවි.


දැනගෙන භාවිතා කරන්න!
‘‘අගුණක් නැතත් ගුණයක් නැති‘‘ දෙයකට මඩිස්සලේ හොල්ලන්න ඉක්මන් වෙන්න එපා!

- රොෂීන් ප්‍රනාන්දු

3 comments: