Monday, September 4, 2017

කුරුලු කූඩුවෙන් මතුවූ අහස සූරන මැදුරු


අහස් කුස අතික්‍රමණය කරන්නාක් මෙන් නැගි සිටින තට්ටු සිය ගනන් වල දැවැන්ත උස් ගොඩනැගිලි (skyscraper) ලොව හැමතැනම දැන් ඉදිවෙනවා. ලොව උසම ගොඩනැගිල්ල තම රටේ හදන්න ලොව ප්‍රමුඛ පෙලේ රටවල් තරගයක ද යෙදි සිටිනවා. මුලින්ම ලොව උසම ගොඩනැගිලි හදපු ඇමරිකාව පරයා ආසියාකර නැගි සිටිනවා.
නමුත් ඔයාලා දන්නවාද මේ දැවැන්ත උස් ගොඩනැගිලි හදන්න අවැසි වැදගත්ම හෙලිදරව්වක් කලේ කුරුළු කුඩුවක් කියලා?






ලෝකේ ජනගහණය එන්න එන්නම වැඩිවෙනවා. ගම්මාන නගර බවට පත්වෙනවා. නගර තව තවත් ජනාකීර්ණ වෙනවා. නව ගොඩනැගිලි ඉදිවෙනවා. ඉඩ පාඩුව අවම වෙනවා. ව්‍යාපාර කටයුතු සදහා අවැසි ස්ථානයන් මෙන්ම පදිංචියටද අවශ්‍ය තැන් සාදාගැනිමට මෙය බාධාවක් වෙනවා. 

මේ නිසා තවදුරයත් පොලව අල්ලන්න උත්සහ කරන්නේ නැතුව නිදහස් අහස අල්ලලා උස් ගොඩනැගිලි ඉදිකරන්නට 19 වැනි සියවසේ ඉදන්ම ගෘහ නිර්මාණ ශිල්පීන් උනන්දුවක් දැක්වූවා. කුරුල්ලන්ට අයිති අහස දැන් මිනිස්සු අල්ලන්නයි සූදානම!

නමුත් ඒ හැමෝටම ගොඩ නැගුණු පොදු පැනයක් තිබුනා.

ගඩොල් ගල් සිමෙන්ති මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරලා උස්ගොඩනැගිලි හදන්න ගියාම ගොඩනැගුණු ප්‍රයෝගික ගැටලු බොහෝමයි. ඉහත අමුද්‍රව්‍ය යොදාගැනිමෙන් පමණක් සාදන ගොඩනැගිලි බරින් වැඩි වීම ප්‍රයෝගික ගැටලු රැසක් අැතිවුනා. හදන්නත් බොහෝ කාලයක් ගතවුනා. උස් ගොඩනැගිලි සදන්නට උත්සහ කලත්, ප්‍රයෝගික ගැටලු හේතුවෙන් නිරායාසයෙන්ම යම් සිමාවකට යටත්විමට ගෘහනිර්මාණ ශිල්පින්ටද සිදුවුනා.

ගල් වලට පිටුපාලා ගලේ කොටපු ගැටලු මකා දමන්න එක් ගෘහ නිර්මාණ ශිල්පියකුට හැකියාව ලැබුනා. 

ඔහු නමින්,
 විලියම් ලේ බාරෝන් ජෙනි (William Le Baron Jenney)


විලියම් ජෙනි ලෙස ප්‍රකට වූ ඔහු ඇමරිකානු ජාතිකයෙක්. යකඩ වැඩ විදෙස් රටවලින් උගෙන නම්දැරු ගෘහනිර්මාණ ශිල්පියෙක්. 19 වැනි සියවසේ  අග භාගයේදි චිකාගෝ නුවර ගොඩනැගිල්ලක ගෘහනිර්මාණ කටයුතු පැවරෙනවා. උස් ගොඩනැගිල්ලක් තැනිමට අවැසි වුනත්, ජෙනි හට සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය ඇතිකරන ගැටලුව මතුවෙනවා. නම මානයක් සොයාගන්න ඔහු වෙහෙසෙනවා.

දිනක් ජෙනි නිවසට පැමිණෙන විට, ඔහුගේ ප්‍රිය බිරිය ‘‘ලිසි‘‘ විසින් පොතක් කියවමින් සිට ඇත්තේ. ඇය විසින් ඒ අසල තිබු කුඩා කුරුළු කූඩුවක් මතට පොත දමා ජෙනි පිලිගැනිමට පෙරමන් පැමිණ තිබෙනවා. ජෙනිගේ අවධානය යොමුවූයේ කුරුළු කූඩුව දෙසටයි. යකඩ රාමුවකින් සැදූ කූඩුව විසින් පොතේ බර දරාගෙන සිටින ආකාරය ඔහු දුටුවා.

වහාම කුඩුව වෙත දිවගිය ඔහු, දෙතුන්වරක් එය මතට පොත අත්හරිනු ලැබුවා.

කුරුළු කුඩුවට පොතේ බර දරාගෙන සිටිය හැකියි. යකඩ හෝ වානේ සැකිල්ලකින් සෑදු ගොඩනැගිල්ලකටත් බර දරා සිටිමේ හැකියාව තිබිය යුතුයි. 
ජෙනි නව අදහස, උණු උණුවේ තැනෙන නව ගොඩනැගිල්ලට ආදේශ කලා. ගලින් තැනිම වෙනුවට යකඩින් වෙරගැන්වූ සැකිල්ලක් තැනුවා. තට්ටු 10 ක උසකින් තැණුනු මෙම ගොඩනැගිල්ල Home Insurance Building හැදින්වූනා. ගලින් තැනු ගොඩනැගිල්ලකට වඩා 1/3 ක් මෙය සැහැල්ලු වුනා. සවිශක්තියෙන්ද උසස් වුනා.



මෙය ලොව පුරෝගාමි ස්කයිස්ක්‍රේපර් ගොඩනැගිල්ල ලෙස හැදින්විය හැකියි.


තට්ටු දහයෙන් ආරම්භ වූ ලෝහ සැකිලි මූලික කරගත් උස් ගොඩනැගිලි සංස්කෘතිය අද වන විට ලොවම ආක්‍රමණය කර අවසන්. එම්පයර් ස්ටේට්, ලෝක වෙළද මධ්‍යස්ථාය, බර්ජ් කලිෆා... වැනි  තට්ටු සිය ගනන් වලින් යුත් කාර්යාල, නිවස්න සහිත ජනාකිර්ණ ගොඩනැගිලි බිහිවෙලා. 

එදා ජෙනි දැකපු කුරුළු කුඩුව පොඩි ඉගිය
වගේ ගොඩක් ඉගි ඔබත් දැක ඇති.
දැකලා මදි,
ඇසින් වගේම
දැකිය යුතුයි
මනසින්!

- රොෂීන් ප්‍රනාන්දු









3 comments:

  1. ඒ කියන්නේ ගෙදරට මහත්තයා එනකොට අතේ තියෙන මොකක් උනත්, කොහෙට හරි විසික්කා කර දිවීමෙන් නව නිර්මාණ බිහිකරනවද? මරුනේ.. මතකේ තියාගෙන ඉන්න ඕනේ කවදාහරි පොරෝජන් වෙයි.. හි හි හි

    ReplyDelete