Sunday, September 24, 2017

මිනිසා ජීවිත බේරන කකුළුවා ලේ

ලේ දන්දීම කියන්නේ උතුම් පිංකමක්. තවත් ජිවිතයක් බේරාගැනිමට ලැබෙන අවස්ථාවක්. නමුත් මේ කියන්න යන්නේ මිනිසාගේ ජිවිත බේරන්න ලේ දෙන කකුළුවෙක් ගැනයි. 
සතුටින් දෙනවා නෙවෙයි, බලෙන් ගන්නවා.
 එකතු වෙමු ද අද කතාවට?




Horseshoe crab  (Limulus polyphemus) කරදියේ වෙසෙන ආත්‍රපෝඩාවෙක්. වසර මිලියන 450කටත් පෙර කාලයේ මෙම සත්ත්වයන්ගේ පොසිල හමුවන නිසා  අවශිෂ්ඨ විශේෂයක් ලෙසද හැදින්වේ. කෙලින්ම කිව්වොත් අවම ලෙස පරිණමනයට ලක්වූ කකුළුවා, ජිවත් වෙන පොසිලයක් බඳුය.



අපේ නහර වල දුවන ලේ රතු පාටයි නේ. නමුත් Horseshoe crab ගේ ලේ නිල් පාටයි. අපේ ඇගේ ලේ වල ඔක්සිජන් පරිවහනය කරන්නේ හිමොග්ලොබින් වුනාට, කොපර් අන්තර්ගත හිමෝසයිනින් නම් වර්ණකය තිබිම නිසායි මේ නිල්පාට ලැබිලා තියෙන්නේ. රුධිරයේ හිමෝසයිනින් හමුවන්නේ මොලුස්කාවන්ගේ හා ආත්‍රපෝඩාවන්ගේ පමණයි. 

මේ සත්ත්වයන්ට අපිට වගේ දියුණු ප්‍රතිශක්තිකරණ පද්ධතියක් නැ. සිරුරට ඇතුල් වන විසබිජ එක්ක සටන් කරන්න අපිට වගේ සුදුරුධිරානු නැ. ඒ වෙනුවට ඇමිබෝසයිට නම් සචල සෛල වර්ගයක් ඇති අතර එයින් නිකුත් කරන කොවැගුලෝජන් නම් රසායනිකයක් හේතුවෙන් බැක්ටිරියා දිලිර වැනි ව්‍යාධිජනකයින් කැටිකර අල්වාගැනිමේ හැකියාවක් පවති. එමගින් දේහය තුල ව්‍යාධිජනකයාගේ පැතිරිම වලක්වාගත හැක.

නමුත් Horseshoe crab හට අවසනාවට හේතු වි ඇත්තේද ඔවුන්ගේ දිවි බේරු රසායනකිය විමද විශේෂත්වයකි. මොන ව්‍යාධීජනකයාගෙන් බේරුනත් මිනිසා නම් සතුරාගෙන් බේරෙන්න නම් හැකියාව ලැබුනේ නැ!

ක්ෂූද්‍රජිවින් නිපදවන, සෛල වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වට බාදා පමුණවන ප්‍රෝටින හෝ ලිපොපොලිසැකරයිඩ වලින් තැනි ඇති ජෛවරසායනික ‘‘ධූලක‘‘ ලෙස හදුන්වනවා. මේවා අන්තර්ධුලක(endotoxin) හා බහිෂ්ධූලක(exotoxin) ලෙස වර්ග දෙකක් තියනවා. 



Horseshoe crab සතු මේ විශේෂිත රසායනිකය භාවිතා කර  බැක්ටිරියාවන්ගේ අන්තර්ධූලක හදුනාගැනිමට හැකිබව 1956 දී පමණ ෆ්‍රෙඩ් බැන්ක් අනාවරණය කරගත්තා. එතැන් පටන් අස්සලාඩම් කකුළුවන් ගෙන් ගත්ත ලේ, වෛද්‍ය පරික්ෂණ කරන රසායනාගාර වලට නැතුවම බැරි දෙයක් වුනා. Horseshoe crab  බිත්තර දැමිම සදහා වෙරලට පැමිණෙනවා. ගොඩබිමට එන කකුළුවන් අල්වාගැනිමට ඒ වනවිටත් පිරිසක් සැදි පැහැදි සිටිනවා. එසේ අල්වාගන්නා කකුළුවන් පරික්ෂනාගාර තුලට ගෙනගොස් රුධීරය ඉවත්කිරිම සිදුකරනවා.





මෙසේ කකුළුවන්ගෙන් නිස්සාරණය කරගන්නා රුධිරය ඉතාම මිල අධිකයි. මේවා යොදාගෙන සිදුකරන පරික්ෂණ මගින් යම් ද්‍රව්‍යයක බැක්ටිරියා අන්තර්ධූලක සිටිනවාදැයි තහවුරුකරගත හැකියි.මේ පරික්ෂණ සියල්ල සමත් වු ද්‍රව්‍ය/ ඹෟෂධ මිනිස් පරිභෝජනයට සුදුසුයි. එනයින් කකුළුවා අපේ ජිවිත බේරනවා.

ගතවුනු අඩ සියවසකට අධික කාලය තුල මේ කකුළුවන්ගෙන් බලෙන් අපි ලේ අරන් තියනවා. එක්වරකට එක් කකුළුවකුගෙන් සැලකිය යුතු රුධිර ප්‍රමාණයක් ලබාගන්නවා. ඉන්පසුව නැවත පරිසරයට මුදාහරිනවා. සංකුලතා හේතුවෙන් සමහර කකුළුවන් පරික්ෂනාගාර වලදිම මියයනවා. ප්‍රවාහණයේ හා හැසිරවීමේ වැරදි නිසා රසායනාගාර වලින් පිටත මියයන පිරිසකුත් ඉන්නවා. එමෙන්ම ධිවර කටයුතු නිසාද මියයනවා.




මේ නිසාම රුධිරය එකතු කරන බලවතුන් විසින් Horseshoe crab  රැකගැනිම සදහා යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ඔවුන් රැදිලා තියෙන්නේ Horseshoe crab  මතයි.

මිලියන ගණනාවක් තිස්සේ  පරිසර වෙනස් කම් හමුවේ ජිවිතය බේරාගත්ත Horseshoe crab ව මිනිසා විසින් විනාශ කර දමයිද?
අපේ ජිවිත බේරන සත්ත්වයට,
අපි මේ කරන්නේ සාධාරණයක්ද?

- රොෂින් ප්‍රනාන්දු

3 comments:

  1. ස්තූතියි සටහනට... පැරණි චීන වෙදකමක් තියෙනවා... කකුළුවාව මුනින් අතට හරවලා අතුල්ලන... යුද්ධ වලදී තුවාල වෙන අයට මේක කරලා තියෙනවා චීනෙ...

    ReplyDelete
  2. බොහොම හොද ලිපියක් ගොඩක් දේවල් දැනගන්න ලැබුනා බොහොම ස්තූතියි.අපිට නොමිලේ ගෙදරට ගෙන්න ගන්න පුථවන් ප්‍රී අයිටම්ස් ගැන ලිපියක් දානවනම් ගොඩක් ආස වේවි හැමෝම සුභ දවසක් ජය වේවා!

    ReplyDelete
  3. පුළුවන්නම් බහුගුණිත සත්වයෝ (වර්ණදේහ කට්ටල 2කට වඩා ඇති)
    ගැන ටිකක් සීරියස් ලිපියක් දාන්න.

    ReplyDelete