Monday, June 12, 2017

පිලිකා ප්‍රතිකාර හා කොන්ඩය හැලීම

පිළිකාව, බොහෝ දෙනෙක් කතා කරන්න අකමැති මාතෘකාවක්. නමුත් කතා නොකර බැරි මාතෘකාවක්. මේ ලිපිය ලියන්න හේතු වුනේ  පිළිකා ප්‍රතිකාර නිසා ඇතිවන අතුරු ආබාධයක් ගැන  මිතුරෙක් අහපු පැණයක් නිසයි. Chemotherapy ප්‍රතිකාරය ගැන මෙම ලිපියෙන් සරලව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.






පිළිකා (cancer) සදහා වන Chemotherapy  ගැන කතා කරන්න කලින්  පිලිකාවක් කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරගැනිම වඩාත් සුදුසුයි.

දිනපතා අපේ ඇගේ පරණ සෛල මැරෙනවා. අලුත් සෛල නිපදවනවා. පොඩි ගනන් වලින් නෙවෙයි, දහස් දස දහස් ගනන් වලිනුයි මේ වැඩේ වෙන්නේ. සෛල බෙදීම පාලනය වන්නේ සෛල වල අඩංගු DNA මගින්. අලුත් සෛල බෙදෙද්දි පරණ DNA වලින්  අලුත් DNA කට්ටල හැදෙනවා. මේ ආකාරයට වැඩේ ලස්සනට කෙරීගෙන යනවා.

මේ අතරතුර පොඩි  වැරැදීම් වෙන්න පුලුවන්. මේ වැරදීම් නිසා අලුතින් හැදෙන DNA වල වැරැදි තියෙන්න ඉඩ තියනවා. මෙවැනි අවස්ථාවලදි එම වැරැදි DNA හරිගැස්සවීම හෝ විනාශ කර දැමිම සිදුවෙනවා. දිනපතා අපේ ඇගේ සෛල හැදෙද්දි මෙවැනි වැරදිම් සිදුවෙනවා. දැනටත් අපි හැමෝගෙම ඇගවල් වල මෙසේ වැරදි වෙච්ච සෛල තියෙන්න පුලුවන්. නමුත් මෙම සෛල විනාශ කර දැමිමට තියන යාන්ත්‍රණය නිසා, හැදුනු සැනින් විනාශ වෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැ.

නමුත් සමහරක් වෙලාවලදි මෙසේ සැදූනු අසාමාන්‍ය සෛල විනාශ වෙන්නේ නැ. එම අසාමාන්‍ය සෛල වල තියන DNA රටාවේ අඩුපාඩු නිසා, ‘‘පාලනයකින් තොරව නොනවත්වාම‘‘ බෙදීමකට ලක්වෙනවා. මේ නිසා ඉතා ඉක්මනින් බෙදිලා බෙදිලා අසාමාන්‍ය වර්ධනයක්  සහිත සෛල පිඩක් ඇතිවෙනවා.

ඔන්න ඔහොමයි පිළිකාවක් ආරම්භ වෙන්නේ. මිනිස් සිරුර හැදිලා තියෙන්නේ සෛල වලින් නේ. ඒ නිසා පිළිකාවක් ඇගේ ඕනැම තැනක හැදෙන්න පුලුවන්. 

මෙසේ ඇතිවුණු අසාමාන්‍ය සෛල ගොනුව, වේගවත් බෙදීම හේතුකොට ගෙන සෛල ප්‍රමාණය අඛණ්ඩව වැඩිකර ගන්නවා. අන්තිමේදි මේ සෛල වඩා රුධිර සැපයුමක් ගොඩ නගාගන්නත් සමත්වෙනවා. රුධිර සැපයුම හරහා අනුයාත නිරෝගි සෛල කරා  පිළිකා සෛල ගමන් කරලා, එම පටක තුලත් වැඩෙන්න ගන්නවා.

පිළිකා වර්ග අතුරින්, පියයුරු පිළිකා, ප්‍රොස්ටේට් ග්‍රන්ථි පිළිකා හා පෙනහළු පිළිකා තත්ත්ව බහුලවම දකින්න ලැබෙනවා.

ඒ වගේම මතක තබා ගත යුතු වැදගත් දෙයක් තියනවා. එක් අයකුට වැලදෙන පිළිකාවක් හා තවත් අයකුගේ ඒ ආකාරයේම පිළිකාවක් සමග වෙනස්කම් තියනවා.  උදාහරණයක් ලෙස, එක් කාන්තාවකට සැදෙන පියයුරු පිළිකාවක් හා තවත් කාන්තාවකට හැදෙන පියයුරු පිළිකාව එක සමාන නැ.

පිළිකාවක් තියනවා කියලා හදුනාගත්තාට පස්සේ සිදුකරන ප්‍රධාන ප්‍රතිකාර,
  • සැත්කමක්
  • Chemotherapy / රසායනික චිකිත්සාව
  • Radiotherapy / කරන්ට් ඇල්ලීම

පෙරදිත් කිව්වා වගේ මේ ලිපියෙන් ප්‍රධාන ලෙස Chemotherapy ගැනයි කතා කරන්නේ. Radiation therapy ගැන ඉදිරි ලිපියකින්...

රසායනික ඖෂධයන් භාවිතා කරලා  පිළිකා සෛල විනාශ කිරිම/පාලනය කිරිම තමයි Chemotherapy වලදි කරන්නේ. සමහර පිළිකා සදහා Chemotherapy පමණක් ප්‍රතිකාරයක් ලෙස බාවිතා කරනවා. සැත්කම්/Radiotherapy වලට පෙර හා පසු සිදුකරන උපකාරක ප්‍රතිකාරයක් ලෙස Chemotherapy යොදාගන්නත් පුලුවන්.

Chemotherapy වලදි කරන්නේ මොකක්ද?

පිළිකා සෛල ඉක්මනින් බෙදෙන සෛල කියලා කලිනුත් කිව්වානේ. මෙම ප්‍රතිකාර මගින් ඉක්මනින් බෙදෙන සෛල ඉලක්ක කරලා ඒවා විනාශ කරලා දානවා.නැත්තම් සෛල බෙදෙන වේගය මන්දගාමි කරනවා.

බෙහෙත  ගන්නේ කොහොමද?

බෙහෙත් සිරුරට ඇතුල් කරන විදිහ විවිධාකාරයෙන් සිදුකරන්න පුලුවන්. ගිලින බෙහෙත්, එන්නත්, රුධිරගත කිරිම.... වැනි ක්‍රම භාවිතා කරනවා.


කෙස් වැටිම වැනි තත්ත්ව ඇතිවන්නේ ඇයි?

අවාසනාවකට සිරුරේ තියන අනෙකුත් වේගයෙන් බෙදෙන සෛල පවා  Chemotherapy  වල බලපෑමට අහුවෙනවා. රෝම කූප, අන්ත්‍රික සෛල, මුඛ සෛල හා ඇටමිදුලු වැනි වේගයෙන් බෙදෙන සෛල, ප්‍රතිකාරයේ බලපෑමට නතු වෙනවා. ඒ නිසා එම සෛල වලට හානි සිදුවෙනවා. නමුත් Chemotherapy නැවැත්වීමෙන් පසු නැවත පෙර තත්ත්වයට එනවා.
 බය වෙන්න එපා.
 හැම කලු වලාවකම රිදි රේඛාවක් තියනවා!!

මෙයට අමතරව ප්‍රතිකාර අතරතුර දක්නට ලැබෙන තත්ත්ව..

පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් තත්ත්ව දකින්නට ලැබෙනවා. මේ අතරින් තෙහෙට්ටුව විශේෂයෙන්ම දැනෙනවා.  ඔක්කාරය, වමනය, රසය වෙනස් වීම වගේ තත්ත්ව දකින්න ලැබෙනවා. වෛද්‍ය උපදෙස් මත මෙම තත්ත්ව මගහැරගන්න පුලුවන්. විශේෂයෙන්ම එලිපහලියට යද්දි හිස ආවරණය කරගෙන යෑම වැදගත්. සමේ සංවේදිබව වැඩිවේවි. හැකිතරම් ඇග වැසෙන්න අදින්න.

ප්‍රතිකාර නියම කර ඇති පරිදි නිසි ආකාරයට භාවිතා කරන්න.
නිතිපතා සායන වලට යන්න.
වෛද්‍ය උපදෙස් පිලිපදින්න.


සබැදි ලිපි
මානව පැපිලෝම වෛරසය
පුංචි පැලට වින කටින ඇස්බැස්ටස්




























1 comment: