Monday, July 3, 2017

කැලරි, අපේ සිරුරට වැදගත් ඇයි?

‘‘පාන් ගෙඩියේ කැලරි මෙච්චරයි!‘‘ ‘‘උදේට දිව්වම මෙච්චර කැලරි දහනය වෙනවා!‘‘
 ‘‘අපෝ කැලරි වැඩියි!‘‘
මේ වගේ කතා ඔයාලා අහලා ඇති
ඇත්තටම මොනාද මේ කැලරි?
කැලරි ඇයි වැදගත්?





දුවන්න පනින්න නටන්න ගයන්න අපේ සිරුරට නිතිපතා ශක්තිය අවශ්‍ය වෙනවා. ඔන්න ඔතැනදි කැලරි කියන සාධකය ගැන අපිට කතා කරන්න වෙන්නේ.

‘‘කැලරි‘‘ යනු මොකක්ද?
කැලරි කියන්නේ ශක්තිය මනින ඒකකයක්. ශක්තිය මනින්න SI ඒකකය ජූල් (J) උනත්, ඈත අතිතයේ සිටම කැලරි (cal) භාවිතා කලා. ඒ නිසා අදටත්, ජූල් හා කිලෝ ජූල් වලින් වගේම කැලරිත් භාවිතයේ තියෙනවා.

කැලරි එකක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? 
සම්මත වායුගෝල පීඩනය යටතේ ජලය ග්‍රෑම් 1ක උෂ්ණත්වය සෙල්සියෙස් 1කින් ඉහල නැංවීමට අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණය කැලරි එකක් ලෙස හදුන්වනවා. කැලරි 1000ක් කිලෝකැලරි (kcal) 1ක් ලෙස සලකනවා. භාවිතයේ පහසුව සදහා කැලරි වලට වඩා කිලෝකැලරි වලින් තමයි අගයන් කියන්නේ. එමෙන්ම කිලේජූල් 4.2ක්, 1ක් කිලෝකැලරියක් ලෙසත් සලකනවා.

මිනිසෙකුට දිනකට කොච්චර කැලරි ඕනාද?
සාමන්‍යයෙන් පිරිමියකුට දිනකට 2500 kcal ප්‍රමාණයක් හා කාන්තාවකට 2000kcal ප්‍රමානයක් අවැසි බව සැලකෙනවා. එනම් පුද්ගලයකුට දිනකට කිලෝකැලරි 2000-2600ත් අතර ප්‍රමාණයක් අවැසි වෙනවා. මෙය කිලෝ ජූල් වලින් කිව්වොත් 10,900 - 8,400 අතර ප්‍රමානයක් වෙනවා. 

සැලකිය යුතු වැදගත් කරුන නම්, මෙය මධ්‍යන්‍ය අගයක් වන අතර, ඔබ විසින් කරන ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම අගයන් වෙනස්විය හැක. උදාහරණයක් ලෙස, අධිකව වැඩ කරන පුද්ගලයකුට වැඩි කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වේ.

ආහාර වලින් ශක්තිය ලබාගන්නා ආකාරය කෙටියෙන් කිව්වොත්,
 අපි ආහාරයට ගන්නා සෑම ආහාරයකම ශක්තිය ගබඩා වෙලා තියෙනවා. ශරිරය තුලදි මෙම ආහාර වල ඇති රසායනික බන්ධන කැඩිලා ශක්තිය නිදහස් වෙනවා. එම ශක්තිය, සිරුරේ ඇති ATP වැනි ශක්ති ප්‍රවාහක අණු තුල ගබඩා කරගන්නවා.

හැම ආහාරයකම තියෙන්නේ එකම වගේ කැලරි ප්‍රමාණයක්ද?
නැත. ආහාරයෙන් ආහාරයට වෙනස් වෙනවා. ඒ ඒ ආහාර වල අඩංගු කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටින අනුව එහි අඩංගු ශක්ති ප්‍රමානයද වෙනස් වෙනවා. 



උදාහරණයක් ලෙස, පාන්පෙත්තක පලතුරකට වඩා කැලරි තියෙන්න පුලුවන්. මස් 100g වලින් ලැබෙන ශක්තිය, එලවලු වලින් ගන්න ගියොත් ගොඩක් එලවලු කන්න වේවි.


ආහාරයේ ඇතුලත් මුලු කැලරි ප්‍රමාණයම අපේ සිරුරට ලබාගන්න පුලුවන්ද?
මේක ඉතාමත් වැදගත් කාරණාවක්. අාහාරයේ ඇතුලත් සියලුම ශක්ති ප්‍රමාණයන් ඔබේ සිරුරට ගන්න බැරි වෙන්න පුලුවන්. ඒ ඔබ ගන්නා ආහාරය අනුවයි.

උදාහරණයක් ලෙස, ඔබ තන්තු අධික ආහාරයක් ගත්තොත්, ඔබේ සිරුර එම තන්තු බිදහෙලන්නම වැඩි ශක්තියක් වැය කරනවා. ඒ නිසා අවසානයේදි ඔබේ සිරුරට ලැබෙන්නේ අඩු ශක්ති ප්‍රමාණයක් පමණයි. 
ඒ නිසා, එවැනි තන්තු ආහාර 100g කනවාට වඩා, අල 100g කින් වැඩි ශක්තියක් ඔබේ සිරුරට ලබාගන්න පුලුවන්.

පුද්ගලයාගෙන් පුද්ගලයාට ශක්තිය අවශෝෂණය වෙනස් වෙනවාද?
ඔව්!. එකම ආහාරය එකම වෙලාවේ පුද්ගලයින් දෙදෙනකු කෑවත් ඒ දෙදෙනාගේ සිරුරු එම ආහාරයේ ඇති ශක්තින් අල්ලගන්නේ වෙනස් අගයන්ගෙන්. ඒ ඒ අයගේ සිරුරේ තියන එන්සයිම ප්‍රමාණයන්, ආහාර මාර්ගයේ වෙනස්කම්, අවශෝෂණයේ හැකියාවන් වැනි හේතුන් නිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙය වෙනස් වෙනවා.


මෙසේ සිරුරට ලබාගන්න ශක්තිය භාවිතා කරන්නේ මොකටද?
මෙසේ අල්ලගන්න ශක්තියෙන්, වැඩි ප්‍රමානයක් ඔබේ සිරුරේ සෛල හා පටක පවත්වාගැනිමට අවශ්‍ය කාර්යයන් සදහා යොදවනවා. එමෙන්ම ඉතිරි ශක්තිය, ඔබේ කායකර්මිය ක්‍රියා හා ආහාර ජිර්ණය සදහා යොදවනවා.

වැඩිපුර ශක්තියට මොකද වෙන්නේ?
අතිරික්ත කැලරි ප්‍රමාණය සිරුරේ මේදය ලෙස ගබඩා කරනවා. අවැසි අවස්ථා වල ඒවා බිදහෙලා ශක්තිය ලබාගැනිම සිදුකරනවා. නමුත් කැලරි අධික ආහාර නිරන්තරයෙන් ගත්තාම මේදය වැඩිවෙලා තරබාරු වෙන්න පුලුවන්. අවශ්‍ය කැලරි ප්‍රමාණය නොලැබුනොත් සිරුරේ ක්‍රියා වලට අවැසි ශක්තිය නොලැබී, දුර්වල වෙන්නත් පුලුවන්. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට ශක්තිය ලබාගැනිම සුදුසුයි.

වැඩි කැලරි ආහාර ගත්තානම් ශක්තිය වැඩිපුර ලැබෙයි නේද?
ඔව් ලැබෙනවා. නමුත් ශක්තිය වගේම විටමින ඛනිජ ලවණ වැනි පෝෂක කොටස් සිරුර නිසි ලෙස පවත්වාගෙන යන්න අත්‍යවශ්‍යයි. කැලරි විතරක් තිබිලා මදි. ක්ෂණික ආහාර බොහෝමයක හොදට කැලරි තිබ්බාට පෝෂක අඩුයි. ඒ නිසා එවැනි ආහාර දිර්ඝ කාලිනව ගැනිමෙන් ඔබේ සිරුරේ පෝෂණ උෟනතා මතුවෙන්න පුලුවන්. එමෙන්ම තරබාරු වෙන්නත් පුලුවන්.


අලුත් යමක් දැන ගන්න ඇතැයි සිතනවා!
මෙවැනි තවත් ලිපියකින් හමුවෙමු!
අලුත් ලිපි දැනගන්න අපිව FOLLOW කරන්න අමතක කරන්න එපා!


1 comment:

  1. බොහොම ස්තූතියි අපට Free Items ටිකක් ගෙදරට ගෙන්න ගන්න පුථවන් ඒවා ගැන ලිපියක් ලියන්න පුතවන් ද?

    ReplyDelete