Friday, July 28, 2017

කුරුළු බෙටි සොයා ඇමරිකාව දූපත් අල්ලයි!!

ලෝකයේ යටත්විජිත වාදය එක් එක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. කොන්ස්තන්තිනෝපලය ඔටෝමාන්ලා අල්ලපු වෙලාවේ කුලුබඩු හොයන්න කියලායි පරංගියා ආසියාකරයට ආවේ. ඉන්දියාව හොයන්න ගිය ගමනෙදිනේ කොලොම්බස් ඇමරිකාව හොයාගන්නේ. 
නමුත් ඔයාලා දන්නවාද ඇමරිකාව විසින් කුරුළු බෙටි වෙනුවෙන් දූපත් අල්ලන්න පටන්ගත්තා කියලා.
ඒ තරම් වටිනවාද?




මුහුදු පක්ෂින්ගේ/වවුලන්ගේ මල අපද්‍රව්‍ය වන ගුවානෝ (Guano), 19 වැනි තුල පොහොරක් ලෙස භාවිතයට පැමිණියා. මෙහි අඩංගු නයිට්‍රජන්, පොස්පේට් හා පොටැසියම් ඉහල සංයුති හේතුවෙන් පොහොරක් ලෙස ගොවින් තුල ඉහල ඉල්ලුමක් පැවැතියා. 1840 දශකයේදි ඇමරිකාව ගුවානෝ ආනයන කිරිමට පටන් ගත් අතර, වසර කිහිපයක් තුල ටොන් ලක්ෂ ගණනින් වසරට ආනයනය කිරිමට සිදුවන තරමට සීඝ්‍ර ලෙස ඉල්ලුම ඉහල ගියා. 





පෙරු රාජ්‍යය එවකට ගුවානෝ ඒකාධිකාරිය ලෝක වෙළදපොල තුල පවත්වාගෙන ගියා. ඔවුන් සතු  චින්චා දූපත් වල අධික මුහුදු පක්ෂි ගණයක් සිටි අතර, භූමිය වැසෙන තරමටම ගුවානෝ සංචිත තිබුනා. මේ දූපත් අල්ලගන්න ස්පාඤ්ඤය වරක් යුද්ධයකුත් කලා. චින්චා දූපත් වල ගුවානෝ කැණිම හා එකතුකිරිම සිදුකලේ චීන ජාතික සේවකයන් විසින්.

ඇමරිකන්කාරයා බිස්නස්කාරයා නේ. තමන් හැර වෙන වෙළද ඒකාධිකාරිවලට ඇමරිකාව එච්චර කැමැති නැ. ගුවානෝ වෙළදාමේ රහ වැටුන ඇමරිකාව අමුතුම තීරණයක් ගත්තා.

ඒ අනුව 1865 දී ගුවානෝ දූපත් පණත (Guano Islands Act ) හදුන්වාදුන්නා.

ඉහත පණත අනුව, ඕනැම ඇමරිකානුවෙක්ට ගුවානෝ සංචිත සහිත, නමුත් වෙනත් රටකට අයත් නොවු/ හිමිකම් නැති , ඕනැම තැනක ඇති දූපතක ගුවානෝ කැණිම සදහා අවසර දුන්නා. මෙම දූපත් වල සදහා අවැසි හමුදා අාරක්ෂාවද රජය මගින් ලබාදෙනවා.


Whenever any citizen of the United States discovers a deposit of guano on any island, rock, or key, not within the lawful jurisdiction of any other Government, and not occupied by the citizens of any other Government, and takes peaceable possession thereof, and occupies the same, such island, rock, or key may, at the discretion of the President, be considered as appertaining to the United States.
— Section 1 of the Guano Islands Act



පණත මගින් ලබාදුන් බලය ප්‍රකාරව ඇමරිකාව විසින් ෆැසිපික් හා අත්ලාන්තින් කලාපයේ දූපත් දුසිම් ගණනින් අත්පත් කරගත්තා. බොහෝමයක් පසුකාලිනව අත්හැර දැමුනත්, මින් කිහිපයක්ම අදටත් ඇමරිකාව සතුයි. ඇමරිකාව රදවා ගත් දුපත් කිහිපය යුධ මර්මස්ථාන වශයෙන් පසුකාලිනව වැදගත් වුනා.



විසිවැනි සියවස වනවිට ඇමරිකාව තුල කෘත්‍රිම රසායනික පොහොර නිෂ්පාදනය ඉහල යෑමත්, ගොවින් එයට හුරුවිමත් සමග ගුවානෝ භාවිතය පහතවැටුනා. මහපරිමාණයෙන් නොවුනත් අදටත් යම් යම් වගාවන් හා නිෂ්පාදන සදහා ගුවානෝ භාවිතා කරනවා.

අදටත් ගුවානෝ පණත නිතිපොතේ තියන නිසා ඕනනම් ඇමරිකානුවන්ට දූපත් අල්ලගන්න පුලුවන්. නිතිය පිටින් දාලා ඇමරිකාව විසින් කාටවත් අයිති නැති දූපත් ටිකකුත් අල්ලගත්තා.

කොහොමද වැඩේ?
කුරුල්ලාගේ පිහිටෙන් හරි යටත්විජිතවාදේ!!!

-රොෂීන් ප්‍රනාන්දු




2 comments: