Wednesday, August 29, 2018

ගැලපගොස් දූපත් හී එළු-මිනිස් සටන

ගැලපගොස් දූපත් යැයි කියූ සැනින් මතකයට නැගෙන්නේ යෝධ ඉබ්බන් හා චාල්ස් ඩාවින්ගේ පරික්ෂණ යි.
නමුදු  මේ විශේෂ දූපත් හී මිනිසුන් හා සතුන් අතර ජෛව විවිධත්වය රැක ගැනීමේ නාමයෙන් සටනක් පැවැති බව?




පෙරදී ඔස්ට්‍රේලියාවේ මිනිසා හා ඉමූ සත්ත්වයන් අතර ඇතිවූ යුද්ධය ගැන සාකච්ඡා කලබව ඔබට මතක ඇති. අද කතාවත් ඊට මදක් සමාන නමුදු අවසානය නම් සපුරා වෙනස්.

පැසිෆික් සාගරයේ සමකාසන්නයේ ඉක්වදෝරයට අයත් ගැලපගෝස් කොදෙව් දූපත්, ඊටම ආවේණික ශාක හා සත්ත්වයන්ගෙන් ගහන පෘථුල ජෛව විවිධත්වයකට උරුමකම් කියයි. පරිණාමවාදයේ පියා වූ චාල්ස් ඩාවින් තම පරික්ෂණ සදහා තෝතැන්න කරගත්තේ ද මෙයයි. 



කොතරම් ලස්සන තැනක් වුනත් විනාශ කරන්න එක වැරදි තිරණයකින් පුලුවන්. සුපුරුදු පරිදි අනවශ්‍ය දෑ අනවශ්‍ය තැන්වල දමා අපවිත්‍ර කිරීමේ මිනිස් පුරුද්ද ගැලපගොස් වලදි වත් අතහැරියේ නැ. අකුරටම වැඩේ කලා.

19 වැනි සියවසේ සිට නාවිකයන් හා මසුන් මරන්නන්  විසින් විවිධ අවස්ථාවල බළලුන්, බල්ලන්, ඌරන් වැනි සතුන් ගැලපගොස් දූපත් වෙත ගෙනගියා. නමුදු මෙසේ රැගෙන ගිය සතුන් අතරින් වැඩිම හානියක් සිදුකලේ එළුවන් හා ඌරන්ය.

1959 දී මසුන් මරන්නන් දෙදෙනකු විසින් ගැලපගොස් කොදව්වේ පින්ටා දූපතේ තාවකාලික කදවුරක් ඉදිකරනවා. දිවිය ගැටගසාගැනිමට අවශ්‍ය වන කලමනා ආදිය ඔවුන් විසින් රැගෙන යනවා. ඒ අතර එක් පිරිමි එළුවෙක් හා ගැහැණු එළුවන් දෙදෙනකුත් රැගෙන යනවා. කැළැ වදින එම එළු නඩය, දශක එකහමාරක් තුල තිස්දහස ඉක්මවන ගහනයක් දක්වා වර්ධනය වෙනවා. කිසිදු වගවිභාගයකින් තොරව එළුවන් ශාක පැළෑටි උලාකෑම නිසා ඒකදේශික සත්ත්වයන්ට ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීමෙන් එම සත්ත්ව ප්‍රජාවන් හී පැවැත්ම දැඩි අන්තරායක තත්ත්වයකට පත් විය. ශාක ආරක්ෂා කරගැනිමට වනාරක්ෂකයින් විසින් කම්බි වැටවල් ඉදිකලද එම ප්‍ර්‍යාත්න අසාර්ථක විය.





1990 දශකයේදි ගැලපගොස් දූපත් වල එළුවන් ගේ ගහනය ලක්ෂ දෙක ඉක්මවමින් දැඩි පාරිසරික බලපෑමක් ඇතිකලා. ඒකදේශික සත්ත්ව ප්‍රජාව වදවීයෑමේ අාන්තරායට ඇදදැමු එළු ගැටලුවට පිලියම් සොයනු වස් සත්ත්ව සංරක්ෂකයන් රැස්වී සාකච්ඡා කල අතර එහිදි හැකි ඉක්මනින් එළුවන් දූපත්වලින් ඉවත්කිරිමට සුදුසු ක්‍රමයක් සොයන්නට වුනා. අැතැමෙකුගේ අදහස වූයේ එළුවන් විදේශ රටවලට අපනායනය කිරිමයි. නමුදු ගතවන කාලය හා දැරිය යුතු පරිශ්‍රමය සැලකීමේදි පහසු කාර්යයක් වූයේ නැත. ඇතැමෙකුගේ අදහස සිංහයන් කොටියන් වැනි විලෝපිකයන් යෙදවීමයි. එයින් තවදුරටත් ඒකදේශික සත්ත්වයන්ට හානිකර විය හැකි බව පෙනෙන්නට තිබුනා. අවසානයේ සමස්ථ සත්ත්ව ප්‍රජාවේ සුබසිද්ධිය තකා එක් සත්ත්ව ප්‍රජාවක් සමූලඝාතනය කිරීමේ තීරණය සාකච්ඡා අවසන සම්මත වුනා.

ඒ අනුව පලමුව කුඩා අවිගත් කණ්ඩායම් යොදා එළුවන් දඩයම් කිරිම සිදුකලා. තවදුරටත් කාර්යක්ෂමව එළුවන් දඩයම් කිරිමේ අරමුණින් නවසීලන්තයේ සහයෙන් හෙලිකොප්ටර් ද යොදවනු ලැබුවා. වසරක පමණ මෙහෙයුමක පසුව එළුවන් බහුතරයක් විනාශකරදැමීමට දඩයක්කරුවන් සමත්වුනා. 



කාලයත් සමග එළුවන් හෙලිකොප්ටර් ශබ්දයට හුරුවීමත්, දඩයක්කරුවන් ගේ ඉව වැටුනු විගස සැගවීමත් නිසා එළුවන් සොයාගැනිම ගැටලුවක් වුනා. කැලෑවේ සැගවුණු එළුවන් අත්හැර දැමුවහොත් පෙර ගැටලුවම අනාගතයේදිත් නැවත ඇතිවිය හැකියි. අවසන් එළුවාද මරා දමන තුරු දඩයම අත්හැරිමට දඩයක්කරුවන් සූදානම් වුනේ නැ. ඒ අනුව ඔවුන් නව තාක්ෂණය හා පැරැණි පාවාදීම යුද පිටියට හදුන්වා දුන්නා.

දඩයක්කරුවන් එළුවන් අල්වාගෙන වන්ධ්‍යකරණය කොට, ඇඟේ GPS උපකරණයක් සවිකර අතහරිනවා. එළුවන් කැලයේ සිටින තම රැල සොයා ගිය විට, GPS  ආධාරයෙන් උන් සොයායන දඩයක්කරුවන් GPS උපකරණය පැළැදි එළුවා හැර අනෙක් එළුවන් මරාදමනවා. දඩයක්කරුවන් තම රැල නොදැනුවත්ව පාවාදෙන එළුවා හැදින්වූයේ ජුදාස් යන නාමයෙන්.


 එළුවන් ඉවත් කිරිමට පෙර (සැන්තියාගෝ දූපත)
ඉවත් කිරිමෙන් පසු

මෙහෙයුම හේතුවෙන් 2005 අවසන් වන විට පින්ටා සැන්තියාගෝ ඉසබෙලා යන දූපත් වලින් එළුවන් තුරන්ව ගොසින්. ආසන්න ලෙස දෙලක්ෂ පනස්දහකට අධික එළුවන් ප්‍රමාණයක් ඝාතනයට ලක්වුනා. එළුවන්ට අමතරව ඌරන් හා බූරුවන්ද තුරන්කිරිමට දඩයක්කරුවන් සමත්වෙනවා.



එළුවන් ඉවත්කිරිමෙන් පසුව දූපත් වල වෘක්ෂලතා වල පැහැදිලි වර්ධනයක් පෙනෙන්ට තිබුණා. අාහාර නොමැතිවිමෙන් ගහණයේ පැහැදිලි අඩුවිමක් පෙන්වූ සත්ත්ව විශේෂ නැවතත් වර්ධනය වුනා. 

ඇතැමෙකුට මෙය සත්ත්ව සංහාරයක් ලෙසත්,
ඇතැමෙකුට මෙය සත්ත්වයන් හා ශාක රැකගැනිමට කල මෙහෙයුමක් ලෙසත් හැදින්විය හැකියි.

නමුත්
එදා මිනිසා ගැලපගොස් අත්තනෝමතිකව දූෂණය නොකලානම්
කිසිදා  මෙවැනි සටහනක් තබන්නට සිදුනොවේ.

- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment