Saturday, August 4, 2018

ගොන්පොර සටන්කරු(ඡායාරුවක ඇත්ත කතාව)

මේ ෆේස්බුක් හා විවිධ සමාජ ෆෝරම්ස් වල ශෙයා වූ ඡායාරුවක්. 
ඔබත් මෙය දැක ඇති.
සත්ත්ව අහිංසාව ගැන කියවෙන ඡායාරුවක් ලෙස බුකිය අර්ථකතනය කල මෙම ඡායාරුව පිටුපස කතාව සොයා යන්නට සිත්විය.





ඡායාරුව සමග පැතිර ගිය කෙටි සටහනක් මෙසේ.

ගව පොර ශූරයෙකු වූ  ඇල්වාරෝ මුනෙරා (Alvaro Munera) ගේ ක්‍රීඩා දිවියේ වඩාත්ම තීරණාත්මක වූ මොහොතක් බවත්,  ප්‍රකෝප කරන ලද ගවයෙකු හා ක්‍රීඩා කරමින් සිටියදී හදිස්සියේ ඇදවැටී ආබාදයකට ලක්විය.අන්ත අසරණව ගවයා අභිමුවට වැටුන ඔහුගේ ජීවිතය රැකුනේ තමා විසින්ම හිංසා කල  ගවයාගේ අභයදානය නිසාය. ගවයාගෙ හැසිරීම මුනේරෝගේ ක්‍රීඩා ජීවිතයට නැවතීමේ තිත තබන්නට සමත් විය. එතැනින් නොනැවතී ඔහු ප්‍රබල සත්ව අවිහිංසාවාදියෙක් බවට පත්විය.

තවත් බැනරයක්

ගොන්පොරකරුගෙන් හා සත්ත්වයාගේ ඉරියම් වලින් බැලූබැල්මට සංවේදි ජවනිකාවක් ගම්‍යමාන වන හෙයින් ඉහත කතාවේ සත්‍යයක් ඇති බවට බොහෝ දෙනක් විස්වාස කලා. හුවමාරු කලා. නමුත් සත්‍ය කතාව සපුරා වෙනස්.

මුනෙරා එද හා අද

ඇල්වාරෝ මුනෙරා කොලොම්බියාවේදි උපත ලබන්නේ 1965දි. ලාබාල වියේදීම ඔහුට පොර වළල්ලට තිත තබන්නට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීමක් නිසා!

දහඅටවැනි වියේ පසුවන නවක සටන්කරුවකු  මුනේරා, 1984 දි තරගයක් අතරතුර  Terciopelo නම් ගොනා එල්ලකර  පාරකින් ඔහු ගේ කොදුඇට පෙලට හානි සිදුවන අතර සදාකාලික ආබාධිතයකු බවට පත්වෙනවා. එතැන් පටන් රෝදපුටුවට සීමාවන මුනෙරා ගේ ක්‍රීඩා දිවියට  තිත තැබිණි. පසුකාලයකදි මුනෙරා සත්ත්ව අවිහිංසාවාදියෙකු බවට පත් වූ බව සත්‍යයකි.

ගවයාගේ දරුණු ප්‍රහාරයට ලක්වෙන කොට මුනෙරාට වයස 18/19ක් පමණ. නමුත් මේ ඡායාරුවේ නිරුපිත පුද්ගලයාගේ වයස හා සසදා බලන්න.  1984 සමයේ ඡායාරුප ගුණාත්වය හා මෙය සසදා බලන්න.

Sánchez Vara

ඇත්ත කතාව නම් මේ පොටෝ එකේ ඉන්නේ මුනෙරා නොව   Francisco Javier Sánchez Vara නම් සටන්කරුවෙක් යැයි කියවේ. ඔහු ස්පාඥ්ඥ ජාතිකයෙක් උපත ලබන්නේ 1979 දි. අනික මේ පොටෝ එකේ නිරුපනය වෙන්නෙත් ගොනා ගැන දුක හිතිලා වාඩිවෙලා ඉන්නා අවස්ථාවක් නොවන අතර මෙය ගොන්පොර ක්‍රිඩාවේ චලන පියවරක්.

මේ පොටෝ එක අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වීමත් සමග තතු දත්තෝ මේ ගැන යුරෝපා ෆෝරම වල ලිව්වා.ගොන්පොරකරුවෝ ඇත්ත ලියලා බුකියේ දැම්මා. මෙට්‍රෝ ටැබ්ලොයිඩ් වල ඇත්ත කතාව ලිව්වා. ලියුම්කරුගේ නෙත ගැටුනෙත් එවැනි ටැබ්ලොයිඩයකින්. 




ඡායාරුපයේ කවුරුන් කෙසේ නිරූපනය උවද, සත්ත්වයන් පීඩාවට පත්කරන ගොන්පොර ක්‍රීඩාවට  සෑම විටම විරුද්ධ විය යුතුමය!
මෙය විනෝද ක්‍රීඩාවක් නොවේ!
ගොන්පොර ගැන තවත් දැනගන්න ඔබට පහත පොත් උපකාරි වේවි!
(ඇමසෝන් හෝ බුක්ඩිපෝසිටරි මගින් ඔබට අන්තර්ජාලයෙන්ම මිලට ගතහැකියි)

The Bulls Of Pamplona
Into the Arena
On Bullfighting
How to Watch a Bullfight
After the Bullfight
Or the Bull Kills You


- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment