Wednesday, August 15, 2018

සීතල යුද්ධය ගිණියම් කල U2 සිද්ධිය

1960 මැයි 01 වැනිදා!
සෝවියට් රුසියාව අතිඋත්කර්ෂවත් ලෙස කම්කරු දිනය සමරන මොහොතක්!
පෙළපාලි විවිධ සංදර්ශණ රැසක්!
මේ අතරතුර රහසින්ම රුසියානු ගුවනේ සරන ඇමරිකානු යානාවක්!
එය සොයාගිය රුසියානු මිසයිලයක්,
සීතල යුද්ධයේ කාලගුණය
උණුසුම් කරමින් පුපුරා යයි! 




දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමත් සමග එතෙක් ලෝක දේශපාලන භූපිහිටිම වෙනස් වෙමින් ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් රුසියාව නව ලෝකයේ මහා බලවතුන් බවට පත්විය. 

එකිනෙකාට බියෙන් පසු වූ බලවතුන්! 
අනෙකාගේ යුධ ශක්තිය ගැන නිරතුරු සෙවිල්ලෙන්! 
ඉතා සුළු ගැස්මකින් පවා තෙවැනි ලෝක යුද්ධය ඇතිවිය හැකියි!

මේ බිය නිසාම ඇමරිකාව හා රුසියාව එකිනෙකා ගේ යුධ ශක්තිය ගැන නිරන්තරයෙන්ම සොයන්නට උත්සුක වුනා. විවිධ ක්‍රම ඔස්සේ සතුරාගේ ක්‍රියාවන් හා ශක්තිය පිලිබදව ඔත්තු බැලීමෙහි නිරත වූවා. සෝවියට් රුසියාව යනු  අතිදැවැන්ත රටක්. බටහිර අවධානය නොලත් සැගවුණු ප්‍රදේශ බොහෝමයි. නිරන්තරයෙන් සෝවියට් රුසියාව විසින් තම යුධ ශක්තිය පිළිබිඹු කරන ප්‍රදර්ශණ වැඩසටහන් හා ප්‍රචාරණයක් දියත්කලා. තමා සතුව අන්තර්මහද්වීපික මිසයිල ඇතිබව පෙන්වන්නට උත්සුක වුනා. මේ මිසයිල බිය ඇමරිකානුවන් කොතරම් බියගැන්වූවාද යත් මිසයිල ප්‍රහාරයක් අතරතුර එයට මුහුණ දිය යුතු ආකාරය පිලිබද පෙරහුරු එවක ඇමරිකානුවන්ගේ දෛනික කාර්ය සටහනේ එක් අංගයක් බවට පත්වුනා.

රුසියාව ලොවට පෙන්වන දැවැන්ත යුධ තාක්ෂණික ශක්‍යතාව පිලිබදව නිසි තොරතුරු ලබාගැනිම සදහා ඇමරිකානු හිටපු ජනාධිපති ඩ්වයිට්.ඩි.අයිසන්හවර් (Dwight D. Eisenhower) මහතා විසින්අතිශය රහස් මෙහෙයුමක් සදහා අවසරය ලබාදෙනවා.




1955 සමයේදි ඇමරිකාවේ ලොක්හිඩ් සමාගම  තම නවතම ඉහල උසකදී පියාසර කලහැකි U-2 සැහැල්ලු පිරිස්සුම් ගුවන්යානාව හදුන්වාදෙනවා. තනි එන්ජිමක් සහිත මෙම ගුවන්යානාවට අඩි 70000 පමණ උසකට ලගාවිය හැකියි. එමෙන්ම එවක තාක්ෂණයට සාපේක්ෂව ඉතාමත් ඉහල ගුණාත්මක ඡායාරුප ගැනිමේ හැකියාවද සහිතයි. U-2 පියාසරන අධික උන්නතාංශ සීමාවට ලගාවිමට එවක සෝවියට් ගුවන්යානා හෝ මිසයිල ලගාවිය නොහැකි බව මතය වුනා.

1958 වසරේදි අයිසන්හවර් ජනාධිපතිතුමාගේ ඉල්ලිම මත එවක පාකිස්ථානු අගමැති හුසේන් ශහීඩ් ගේ අනුමැතියෙන් පෙශාවර් දිස්ත්‍රික්කයේ බදාබර් හිදී බුද්ධි තොරතුරු රැස්කිරිමටත් U-2 ගුවන්යානා ක්‍රියාත්මක කිරිම සදහාත් හැකි ඇමරිකානු රහස් කදවුරක් පිහිටුවනවා. රුසියානු භුමිය සමග සමීපව පිහිටිම හේතුවෙන් බදාබර් රහස් කදවුර සදහා යෝග්‍ය ස්ථානයක් වු අතර රුසියානු මිසයිල අත්හදාබැලීම , යුධ යටිතල පහසුකම් පිලිබද නිරික්ෂණයට අවකාශය සැපයුවා. චන්ද්‍රිකා තාක්ෂණයෙන් ඔත්තු බැලීම එලැබෙන දශකයේදි කරළියට පැමිණිමට පුලපුලා බලාසිටින මොහොතක, ගතවන තත්ත්පරයේදි U-2 ගුවන්යානා මගින් ඉතා වැදගත් තොරතුරු හා ඡායාරුප සටහන් කරගනිමින් පියාසැරියේ යෙදුනා.

සෘජුවම ඇමරිකානු ගුවන් නියමුවන් යොදා U-2 මෙහෙයුම් දියත්කිරිමට අයිසන්හවර් ජනාධිපතිතුමා පැකිලුනා. මන්ද යත් අනපේක්ෂිත ලෙස ගුවන්යානාව බිදහෙලිමට රුසියානුවන් සමත්වුවහොත් එය ගැටුමකට මූලයයි. එබැවින් U-2 පිරික්සුම් සැරිය සදහා බ්‍රිතාන්‍ය ගුවන්නියමුවන් ද යොදාගැනිමට ඇමරිකාව කටයුතු කර ඇත. 

ගුවන්යානා මගින් ගෙනඑන තොරතුරු වලින් රුසියානු න්‍යෂ්ඨික වැඩපිලිවෙල පිලිබද සැලකිය යුතු අවබෝධයක් ලබාගැනිමට ඇමරිකාවට හැකියාව ලැබිණ. දේශපාලනයේ තිරය පිටුපස කතාන්දරය මෙය වුවත් ලෝකයා  ඉදිරියේ දෙරටේ නායකයින් රඟන නාටකය මීට සපුරා වෙනස්.




සෝවියට් නායකයාගේ ඇමරිකානු සංචාරය


1959 දි මොස්කව් හීදි ඇමරිකානු දූතයන් සමග හමුවෙන් පසු කෘෂේව් හට ඇමරිකාවට පැමිණෙන ලෙස ආරාධනා ලැබින. ඒ අනුව කෘෂෙව්  1959 සැප්තැම්බර් 15 සිට 27 දක්වා ඇමරිකාවේ සංචාරයේ නිරත විය. සෝවියට් රුසියානු මුල්පුරවැසියකු ඇමරිකාවේ සංචාරයේ යෙදුනු මුල්ම අවස්ථාව බැවින් දැඩි මාධ්‍ය ආවරණයක්ද සංචාරයට ලැබිණ.

එමෙන්ම රාජ්‍යයන් අතර ඇතිවි ඇති ගැටලු සාකච්ඡා කිරිම සදහා 1960 මැයි මාසයේ පැරිසිය කෙන්ද්‍ර කරගෙන ඇමරිකාව, සෝවියට් රුසියාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකයන්ගේ එකතුවෙන් සමුළුවක් පැවැත්විමටද කතිකා කරගත්තේය.

මේ සියල්ලම එසේ සිදුවෙද්දි, U-2 පිරික්සුම් මෙහෙයුමද රහසේ සිදුවන්නට විය. තම ගුවන් සීමාවේ සිදුවන විදෙස් ක්‍රියාකාරකම් පිලිබදව සෝවියට් රුසියානු හමුදා වෙත ඉවවැටි තිබු අතර සැම අවස්ථාවකදිම සතුරාගේ ග්‍රහණයෙන් මිදිමට පිරික්සුම් යානා සමත් විය.

නමුදු අතීතය වෙනස් වන දිනය වැඩි ඈතක නොවේ!

ක්‍රි.ව 1960 මැයි 01 වැනිදා!
සෝවියට් රුසියාව මැයි දිනය සමරන මොහොත!

රුසියානු භූමියට නුදුරින් පකිර්තානයේ පෙෂාවර් කදවුරේ U-2 පිරික්සුම් යානාවක් සූදානම් වූයේ පෙර නොවූ විරු ක්‍රියාන්විතයක යෙදීමයි. පෙර U-2 යානාවක් ගමන්කර නොතිබූ තරම් පියාසැරියක් රුසියානු ගුවන හරහා සිදුකිරිමට සැලසුම් කර තිබු අතර යානාව භාරවූයේ ඇමරිකානු ජාතික ෆ්‍රැන්සිස් ගැරි පවර්ස් නියමුවා වෙතයි.පැරිස් හී පැවැත්වීමට නියමිත බලවතුන්ගේ සමුලුවට බලපෑමක් සිදුනොවනු වස් එයට පෙර සිදුකරන අවසන් ඔත්තුබැලීමද මෙයයි. මැයි දිනය තෝරාගැනිමට හේතුව ලෙස එදින රුසියානුවන් කම්කරු දිනය ආශ්‍රිත උත්සව වලට සහභාගී වීම නිසා කාර්යබහුල වීමෙන්  ලැබෙන  අවකාශයෙන් වාසියක් ලබාගැනිමටයි.

පවර්ස්

ෆ්‍රැන්සිස් ගැරි පවර්ස් උපත ලබන්නේ ඇමරිකානු කෙන්ටකි හී පහල මධ්‍යම පන්තියේ පවුලකයි. පියා පතල්කරුවෙකි. මව ගෘහනියකි. 1950 දශකයේදි ගුවන්හමුදාවට එක්වන පවර්ස් කායික හා මානසික පරික්ෂණයකින් අනතුරුව බුද්ධි අංශ සේවයට ඇතුලත්කරගන්නා ලදි. ඔහුට පැවරුන කාර්යය වන්නේ සෝවියට් රුසියාව ඉහලින් පියසර කරමින් බුද්ධි තොරතුරු රැස්කිරිමයි. ඒ සදහා අවැසි පුහුණුවද ලබාදෙන ලදි.

CIA සමග එක්වන පවර්ස් වෙත සාමන්‍ය වැටුපට අමතරව ඩොලර් 2500ක අමතර වැටුපක්ද හිමිවිය. ඔහුව ‘‘පල්මර්‘‘ යන නමින්ද ‘‘10-10‘‘ කේතයෙන්ද හදුන්වනු ලැබීය. යම් අවස්ථාවක සතුරාගේ ග්‍රහණයට පත්වුහොත් දිවිනසාගැනිම සදහා විශ කටුවක් සහිත ව්‍යාජ කාසියක් ඔහු සැමවිටම රැගෙන යා යුතුය. බාහිර ලෝකයාට මවාපෑවේ පවර්ස් යනු නාසා ආයතනයට සේවය කරන ඉහල අහසේ කාලගුණ දත්ත එක්රැස් කරන නියමුවෙක් බවයි.

1960 මැයි 01 වැනිදින තීරණාත්මක පාකිස්ථානයේ කදවුරු තොටුපලෙන් අහසට නැගි ඔහුගේ ගමන්මග  රුසියානු භූමිය මතින් ගමන්කර නෝර්වේ වෙත ගොඩබැස්වීමට සැලසුම් කර තිබිනි. අඩි 65000ක උසක ගුවන්යානාව රදවාගනිමින් පවර්ස් සෝවියට් ගුවන්කලාපයට ඇතුල් විය. එක්වරම ගුවන්යානාව අසලින් යමක් පුපුරා ගියේය.

පවර්ස් ගේ ගමන් මග

එය රුසියානු මිසයිලයකි. තමා වෙත ඇදි එන රුසියානු මිසයිල පුපුරා යන අයුරු ඔහු දුටුවේය. පිපිරුම් කම්පන හේතුවෙන් ගුවන්යානාවේ පාලනය ගිලිහි යන අතර ඔහු සතු වූ එකම විකල්පය වූයේ යානායෙන් ඉවත්වීමයි.
U-2 යානාවේ සැකැස්ම අනුව ගුවන්නියමුවාට යානාවෙන් ඉවත්වීම පහසු කාර්යයක්නොවේ. මහත් ආයාසකින් කඩා වැටෙන ගුවන්යානාවෙන් නික්මෙන පවර්ස් තම පැරශුට් ආධාරයෙන් ස්වද්ලොස්ක් වෙත ගොඩබෑවේය.

එදින උදෑසන 11.00ට පමණ පවර්ස් රුසියානු සොල්දාදුවන් විසින් අත්අඩංගුවට ගත්තේය. ඔහුගේ යානාවේ සුන්බුන්ද රුසියානු සෙබලුන් විසින් සොයාගත්තේය.  පැරිස් නුවරදි එක්වන්නට බලාසිටි ලෝක බලවතුන්ගේ මේසය මතට පවර්ස් පතිත විය.

මැයි 05 වැනි දින සෝවියට් නායක නිකිතා කෘෂෙව් විශේෂ ප්‍රකාශයක් කරමින්, තමන් විසින් ඇමරිකානු ඔත්තුබැලිමේ ගුවන්යානාවක් බිම හෙළු බවට ප්‍රකාශ කලේය. නමුත් පවර්ස් ජිවග්‍රහණයෙන් අල්ලාගත් බවට නොපැවසීමට ඔහු වගබලාගති.

එය ඔත්තුබැලිමේ ගුවන්යානාවක් නොව, නාසා ආයතයේ කාලගුණ  ගුවන්යානාවක් බව ට ඇමරිකාව ප්‍රතිඋත්තර සැපයීය. එමෙන්ම ඔවුන් සතු U-2 ගුවන්යානා වල නාසා ලාංඡනය සිතුවම් කිරිමටද වගබලා ගත්තේය.



යානාවේ සුන්බුන් හා ඒවා පරික්ෂා කරන කෘෂෙව්

තම උපක්‍රමයට ඇමරිකාව හසුවූ බව දැනගත් සෝවියට් නායකයා වහාම පිලිතුරු දෙමින්, ගැරි පවර්ස් නම් ඇමරිකානු ගුවන්නියමුවා තම භාරයට ගත් බවත් ඔත්තුබැලීම පිලිබදව තහවුරු කිරිම සදහා ගුවන්යානා සුන්බුන් අතරින් සොයාගත් සාක්ෂි  ද ඉදිරිපත් කරන්නට විය.

U-2 යානාව බිමහෙලිම ඇමරිකාව හා රුසියාව අතර නව රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය කල අතර යොදගෙන තිබූ පැරිස් සමුලුවෙන් රුසියාව ඉවත්විය. න්‍යෂ්ඨීක අර්බුධය පිලිබද සාකච්ඡා ඇණහිටින.  එමෙන්ම ඇමරිකානු ජනාධිපතිවරයාට සෝවියට් රුසියාවේ සංචාරක ආරාධනාවද නැවත කැදවීමට රුසියාව කටයුතු කලේය. ධවල මන්දිරයේ ගෙවන අවසන් හෝරාවේ අයිසන්හවර් ජනාධිපතිවරයා සෝවියට් රුසියාව සමග සබදතා ඇතිකර ගැනිමට දැරු ප්‍ර්‍යාත්නය ගඟට ඉනි කැපු සේ ය.


රුසියාවේ අධිකරණයේදි

රුසියානු සිරකරුවකු බවට පත්වන ගැරි පවර්ස් රුසියානු අධිකරණය වෙතට කැදවූ අතර ඔත්තුබැලීමට එදිරිව ගොනු වූ නඩුවෙන් වැරදිකරු බවට පත්වන ඔහු වසර 10ක සිරදඩුවමකට යටත් කලේය.

ඒබල්

ක්‍රි.ව 1957 ජූනි 21 වන දින අැමරිකානු භූමයේ ඔත්තුබැලීමේ චෝදනා මත රුඩොල්ෆ් ඒබල් (විලියම් ඔගස්ට් ෆිෂර්) නම් තැනැත්තා FBI අත්අඩංගුවට පත්විය. වැඩිදුර පරික්ෂණ වලදි ඒබල් විසින් ඔත්තුබැලිමට යොදාගත් උපකරණ, තොරතුරු හා සටහන් සොගැනීමට සමත්විය. ඒබල් ට එදිරිව අධිකරණයේ අධිචෝදනා ගොනුකල අතර ඒබල් ගේ නීතිඥයා ලෙස ජේමිස් ඩොනවන් නම් ජ්‍යෙෂ්ඨ නීනිඥයා පෙනිසිටියේය. ඔත්තුබැලිමේ චෝදනා වලට වැරදිකරුවන ඒබල් හට වසර 30ක සිරදඩුවමක්  නියමවිය.

පවර්ස් රුසියානු භාරයට පත්වීමත් සමග ඒබල්-පවර්ස් සිරකරුවන් හුවමාරු කරගැනිමේ සාකච්ඡා දෙරට අතර සාකච්ඡා කෙරින. ඒබල් වෙනුවෙන් පෙනීසිටි ජේමිස් ඩොනවන්, ඇමරිකාව වෙනුවෙන් සාකච්ඡා සදහා නැගෙනහිර බර්ලිනය වෙත පිටත්විය. සාර්ථක සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව ඒබල් හා පවර්ස් හුවමාරු කරගැනිමට දෙපාර්ශවය එකග වූ අතර ඩොනවන්ගේ චතුර කතිකත්වය මත තවත් නැගෙනහිර ජර්මානු ස්ටාසි බාරයේ සිටි ඇමරිකානු සිසුවෙක්ද නිදහස් කරවාගැනිමට එකගතාව ලබාගත්තේය. 1962 පෙබරවාරි 10 දින බර්ලිනයේ ග්ලිනික් පාලම මතදි සිරකරුවන් හුවමාරුව සිදුවිය.

නැවත සියරට කරා පැමිණෙන පවර්ස් වෙත උණුසුම් පිලිගැනිමක් නොලැබේ. දස අතින් එල්ලවන චෝදනා විවේචන මැද රජයේ ප්‍රශ්ණකිරිම් වලටද මුහුණ දීමට ඔහුට සිදුවිය.

සෙනට් කමිටුව හමුවේ පිලිතුරු දෙන පවර්ස්

බිරිදගෙන් දික්කසාද වන ඔහු CIA නියෝජිතවරියක් සමග විවාහපත් වේ. සේවයෙන් ඉවත් කරන ඔහු පසුව රූපවාහිනි නාලිකාව හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස සේවයට එක්වේ. ක්‍රි.ව 1977 අගෝස්තු මස 01 වැනිදා අනපේක්ෂිත හෙලිකොප්ටර් අනතුරකින් පවර්ස් ජීවිතක්ෂයට පත්විය.

2000 වසරේ මැයි එනම් U-2 සිද්ධියේ 40වැනි සැමරුමේදි පවර්ස් විසින් තම සේවයේදි දැක්වූ නිර්භිතකම හා ධෛර්යය වෙනුවෙන් උපහාර පිදීමක් ද සිදුවිය.


- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment