Sunday, August 19, 2018

ජිම් පප්පා අරිෂ්ඨ කල්දේරමට වැටුන හැටි!

‘‘ඇවිල්ලා ඇවිල්ලා රෝමන් කාරයෝ ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා අරිෂ්ඨ ටික බොන්න වරෙල්ලා‘‘

හිමිදිරි උදෑසනින්ම පප්පා ගමේ අපි කවුරුත් අහන්න ආසම දේ;
රෝමන් කාරයෝ ඇවිල්ලා!






ගෝල් දේසේ අනිත් ගම්මාන වල ඈයෝ රෝමන් කාරයෝ කිව්වාම ගම්රට දාලා දුවද්දි පප්පා ගමේ අපි ගම මැද්දේ වෙද පප්පාගේ ගෙදරට දිව්වා. ඒ අරිෂ්ඨෙ සප්පායම් වෙන්න.

රෝමන් කාරයො එක්ක යුද්ධ කරනවාට වඩා අමාරුයි මේ පප්පවලාව කල්දේරම ලග ආම්බාන් කරන එක.වෙද පප්පා වයසට ගියත් දස්සයා. ගානට හැඩල් කරන්න දන්නවා. හැමෝටම ගානට මිම්මට අරිෂ්ඨෙ බෙදලා දෙනවා.
නමුත් එක අසරණයෙක්ට නම් කවදාවත් අරිෂ්ඨෙ ලැබෙන්නේ නැ.

ඒ පප්පාට අරිෂ්ඨෙ බොන්න නොම්බරයක් නැ. පුංචි කාලෙදිම අරිෂ්ඨ කල්දේරමට වැටිලා කාඩ් කුඩුකරගෙන ඉන්නේ.
ඔයාලා දන්නවා ඒ කවුද කියලා.
ඔව්! ඔව්! ජිම් පප්පා තමයි.



ජිම්පප්පාට හැමදාම උරුම මේ සන්තැසිය තමයි!

මගේ හොදම යාලුවා ජිම් කොහොමද අරිෂ්ඨ කල්දේරමට වැටුනේ?

ඒක එකොමත් එක කාලෙක කතාවක්.
අපේ ගම, පප්පා ගම අද එදා වගේම හැමදාම සුන්දරයි.
මම හිච්චියා. පොඩිකාලේ වේලපත්කඩේ බලපු නැකැත්පප්පා කියලා තියනවා මම සූරවීරයෙක් වෙනවා කියලා. අපේ තාත්තාටත් ඕනා වුනා මාව සූරයෙක් කරන්නට. ඒ නිසාම තාත්තා මට නම දාලා තියෙන්නේ සූර පප්පා කියලා. නමින් සූර පප්පා කිව්වට මම ඒකාලෙත් කොටයි දැනුත් කොටයි.
අපේ අම්මා සැහෙන්න මිටියි. තාත්තාගෙන් හරි භාගයක්. තාත්තා සමහර වෙලාවට අම්මාට කොටා කියලා විහිලුත් කරනවා. හැබැයි එදාට තාත්තාගේ කෑම වේල කෙටි වෙන එක නම් අනිවාර්යයයි.

අපි ගමේ කොල්ලො!
විවේක කාලෙදි අපි කැලේ පනිනවා. ඇළේ දොලේ පැනලා නාලා සෙල්ලම් කරනවා. අපි යාලුවෝ සෙට්එකක් එකතු වෙලා සෙල්ලම් කරන්නේ.
එක පප්පෙකුට ඕනා වුනේ සංගීත කාරයෙක් වෙන්න. මධුර මනෝහර කටහඩකුත් ඒ පප්පාට පිහිටලා තිබුනා. කොච්චර ලස්සනද කියනවානම් සින්දුවක් කියන්න කට ඇරිය ගමන් අතුල් පාරක්වදින එක සාමාන්‍යයි.තව කෙනෙක්ට අවශ්‍ය වුනේ වෙලෙන්දෙක් වෙන්න. ඔහු නම් පසුකාලේදි මාළු කඩයක් දාගත්තා. එහෙම එක එක හිතුම් පැතුම් තියන පප්පලා අපේ රෑනේ හිටියා.

නමුත් මේ හැමදේකින්ම වෙන් වෙලා, පැත්තකට වෙලා හිටපු පොඩි පප්පෙක් හිටියා.ඒ ජිම්පප්පා. හරිම කුලෑටියි. ඇහෙන්න කතා කරන්නෙත් නැ. බයාදු ලෙස පැත්තට වෙලා ඔහේ ඉන්නවා. ගොඩක් වෙලාවට අනිත් පප්පලා ජිම්ව විහිලුවට ගන්නවා. ජිම් පොඩ්ඩ ඇත්නම් අඬාගත්ත ගමන්. හරිම සියුමැලි හිතක් තියෙන්නේ.

ඔයාලා හිතනවා ඇති මේ පප්පා ලමයින්ගේ ජිවිත කාලේ ගස් වැල් අතර සුන්දරව ගෙවි යන්න ඇති කියලා.
මොන පිස්සුද?
විවේක කාලේ කියලා මම කිව්වේ ඉස්කෝලේ නිවාඩු කාලේ
ඉතිහාස පොත අනුව ඉතා ඈත අතිතයේ වුනත් අපිට යන්න පාසලක් පප්පාගමේ තිබුණා.

විදුහල්පති, උපවිදුහල්පති, අංශප්‍රධානියා, ගුරුතුමා, පුස්තකාලාධිපිති, ශාලාධිපති ඕල් ඉන් වන් පප්පෙක් අපිට හිටියා.

ගමේම උගත්තා.ඔහු නොදන්න දෙයක් නැ. එහෙම වෙන්නත් ඕනා.
වයසකම කෙනා එයා නොවැ.
කොච්චර වයසට ගියත් හැමදාම එකම වගේ. කැරලි දෙකේ උඩු රැවුලයි, දිග සුදු යටි රැවුලයි කවදාවත් වෙනස් වෙන්නේ නැ.
වෙද පප්පා ගැන තමයි මේ කියන්නේ.

වෙද පප්පාගේ ඉස්කෝලේට අපි හැමදාම යන්න ඕනා. වෙද පප්පා අපිට ගණිතය,පරිසරය, භුගෝලය වගේ විෂයන් උගන්වනවා.

එක පප්පෙකුට රෝමන් කාරයෝ තුන් දෙනෙක් තලන්න පුලුවන්නම් රෝමන් කාරයෝ තිස් හයක් තලන්න කොච්චර පප්පලා ඕනාද?
ඔන්න එක මාසික පරික්ෂණයක ගානක්.
භුගෝලයට අපි රෝමෙට යන කෙටි මං ඉගෙන ගත්තා. මේවා අදටත් මට කටපාඩම්.

පන්තියේ අදක්ෂම ලමයා තමයි ජිම් පප්පා. එයාට සැහෙන්න අමතක වෙනවා. ඉතිහාසය නම් මතකම නැ. ගණිතයත් වැඩි වෙනසක් නැ.
මම නිවාඩු තියන වෙලාවක ජිම් ගේ ගෙදර ගිහින් එයාට උගන්වනවා. ජිම් ගේ අම්මත් හරිම හොදයි. හදනවා තේ එකක්, මාරම රසයි.
වල් ඌරුමස් නම් කවදාවත් ඒ ගෙදර නැතිවෙන්නේ නැ.


ඉස්කෝලේ කාලේ අපි හරි ආසාවෙන් බලාඋන්න දෙයක් තිබුනා.
ඒ තමයි, රෝමන් කාරයෝ පප්පා ගම ආක්‍රමණය කරන්න එන එක.
රෝමන්කාරයෝ පප්පා ගම ලග වාඩිලෑ දවසේ ඉදන් ගමම කඩිගුල වගේ වැඩ.වෙද පප්පා කල්දේරම හැදිගාන්න බිසි වෙන නිසා අපිට ඉස්කෝලෙත් නැ.අරිෂ්ඨෙ පදම ආපු ගමන් වෙද පප්පා හයියෙන් කෑ ගහලා බොන්න ආරාධනා කරනවා.අංක පිලිවෙලට තාත්තා පප්පා ඇතුළු හැමෝම පෝලිම් වෙනවා.අරිෂ්ඨ බීලා ශක්තිය අරගෙන රෝමන් කාරයෝ එක්ක සටනට යනවා.

යුද්ධෙදි වෙන්නේ එකම දෙයයි,
අපි රෝමෙට ගහනවා, රෝමෙට අපි ගහනවා.
උන් දුවනවා, අපි දිනනවා.

තාත්තා පප්පා යුද්දෙට ගිහින් එනකොට රෝමන් කාරයොන්ගේ යකඩ තොප්පි අරගෙන එනවා. ඒවා කන්දක් තියනවා අපේ ගෙදර ගොඩ ගහලා.
අම්මා නම් හැමදාම බනිනවා ඕවා ගේන්න එපා කියලා. ඒත් තාත්තා පප්පාට මේවා යුධ ජයග්‍රහණ. දිනපුදාට තාත්තා පප්පා වයින් බොන්නෙත් ඔය තොප්පි වල දාගෙන.තාත්තා පප්පා යුද්දෙට ගිහින් එනකං ගමේ අම්මාට එකතු වෙලා තාත්තලාට කන්න වල් ඌරෝ බදිනවා. යුද්දේ දිනපු දා රෑට ගමම එකතු වෙලා ලොකු සාජ්ජයක් දානවා. ඒ වුනාට පුංචි පප්පලාට ඒ පාටිය අකැපයි.

ඔන්න අපි ආසම කාලයක් එන්නයි යන්නේ.
රෝමන් කාරයෝ ලග ලග එනවා කියලා කරත්ත පප්පා වේගයෙන් ගම පුරා ආරංචි කලා. ඉස්කෝලෙත් කලින්ම ඇරියා. ගමේ පප්පලා වෙද ගෙදර ලග පෝලිමේ.ලක ලැස්ති වෙලා පප්පා සේනාව යුද්දේට ගියා.
අම්මලා කුස්සි වල රෑ පාටියට කෑම හදනවා. ගමම පාලුයි.

අපේ සෙට් එක ට කරන්න දේකුත් නැ. කරන්න කියලා සෙල්ලමක් මතක් වෙන්නෙත් නැ. එක පාරටම පප්පෙක් අමුතු යෝජනාවක් කලා.
අපි රෝමන් - පප්පා යුද්ධ සෙල්ලමක් කරමුද?
හැමෝම වගේ එකඟ වුනා. ජිම් නම් මොන සෙල්ලමකටවත් නැනේ. ඔහේ පැත්තක් ගහලා ඉන්නවා.

හරි කවුද දැන් ගෝල් කාරයෝ?
අපි! අපි!

කවුද රෝමන් කාරයෝ?
කවුරුත් කතා නැ.

රෝමන් කාරයෝ නැතුව කොහොමද සෙල්ලම කරන්නේ?
ආ ජිම් පප්පා. ඔයා රෝමන්කාරයෙක් වෙන්න. ඔයා ලොකුයිනේ. ඔයාට පුලුවන් ඒක කරන්න. මම ඒකට විරුද්ද වුනත් වැඩේ හරිගියේ නැ.

එන පොට හොද නැ. පප්පලා එකතු වෙලා ජිම් පප්පාව රෝමන්කාරයට අන්දලා තලන්නයි යන්නේ. මට ඉවෙන් වගේ තේරුණා. ජිම් පප්පටත් කරගන්න දෙයක් නැ. අනිත් පප්පලා සූදානම් වෙනකං ජිම් පප්පා අඩ අඩ කල්පනා කරන්න වුනා.
දැන් මොකද කරන්නේ සූරපප්පේ? මට මෙයාලා තඩිබායි!. මට පුලුවන්ද හැප්පෙන්න?

අඬ අඬ හිටපු ජිම් පප්පා එක පාරටම නැගිටලා ගම මැද්දට දුවන්න ගත්තා. ඇයි කියලා මටත් තේරුනේ නැ. පස්සෙන් දුවපු මම ජිම් පප්පාව නවත්තගත්තා.

මොනාද ජිම් පප්පේ කරන්න යන්නේ?
මම දැක්කා වෙද පප්පා අරිෂ්ඨ කල්දේරම තියපු තැන. මම ඒකෙන් පොඩ්ඩක් බොනවා. බීලා හයිය අරන් මට හැමදාම තලන පප්පලාට හොද පාඩමක් උගන්නවා.
‘‘ඒත් අපිට වෙද ගෙදරටයන්න තහංචි‘‘ මම මතක් කලා. නමුත් ජිම් නෙවෙයි හැරුනේ.

ගමත් පාලුයි. හිමිට හිමිට වෙද ගෙදරට කිට්ටු කලා. දොරත් අරලා. හීන් සිරුවේ අපි ගෙදරට ඇතුල් වුනා. අර තියෙන්නේ අරිෂ්ඨ කල්දේරම. සූර පස්සේ මාව පොඩ්ඩක් උස්සන්කෝ. ජිම් පප්පා ඇවිටිලා කලා.
යාලුවානේ කියලා මාත් ඉතින් පොඩි සප් එකක් දුන්නා කල්දේරමට නගින්න.

ජයගෝෂා හඩක් එකපාරටම ඇහුනා.
වෙනදාටත් වඩා කලින් තාත්තා පප්පලා යුද්දේ ඉවර කරලා එනවා. ජංජාලයයි!
අපි මෙහෙම ඉන්නවා දැක්කොත් විනාසයි.
දඩුකදේ ගහයි.

ජිම් දැන් ඇති බහින්න. මම කෑ ගැහුවා. කවුද ගේ ලගට එන සද්දේ ඇහුනා. වෙද පප්පා වෙන්න ඕනා.
අඩි සද්දෙටත් වඩා හයියෙන් කල්දේරමෙන් ජබොග් ගාලා සද්දයක් ආවා.
මට කරකියාගන්න දෙයක් නැ. ජනේලෙන් පැනලා දිව්වා.
ජිම්පප්පාට මොනා වුනාද දැන්නැ.

ටික වෙලාවකට පස්සේ වෙද පප්පා ඉහෙන් කනෙන් අරිෂ්ඨෙ බේරෙන ජිම් පප්පාව වත්තම් කරගෙන ගං මැද්දට ආවා.

මේ යෝධයා මගේ අරිෂ්ඨ කල්දේමට බැහැලා තිබ්බ අරිෂ්ඨ ඔක්කෝම බීලා. බින්දුවක් ඉතිරි නැ.

ජිම් ගේ අම්මා මහා හයියෙන් ලතෝනි දීගෙන කලන්තේ දැම්මා. ඒකට ගමේ පප්පලා සැහෙන්න බයවුනා. වෙද පප්පා ජිම් ගේ අම්මාව සැනසුවා. කිසිම කරදරයක් නොවන බවත් කිව්වා.

මේ අල්ලපනල්ලේ ජිම්පප්පාගේ හිත දිව්වේ පොඩි පප්පලා ටික හොයාගන්න. ලද ඉසිඹුවෙන් රෝමන්කාරයොන්ට ඇදපු පොඩි පප්පලා ටික ලගට ගිය ජිම්,
දැන් අපි සෙල්ලම් කරමු කියලා අඩිය හප්පලා කෑගැහුවා.
මීයට පිම්බා වගේ. කවුරුත් කතා නැ.

එදැයින් පස්සේ පප්පා ගමේ කවුරුත් ජිම් පප්පාට විහිළු කලෙත් නැ.
හැබැයි ආයිත් වෙද ගෙදරින් අරිෂ්ඨෙ හම්බුනෙත් නැ.

- රොෂීන් ලියයි.



1 comment:

  1. පරණ එත් සුන්දර කාටුන් මතක.දැන් ඒවා වගේ නෙවෙයි මේවා තාම අපේ හිත් වල තියනවා.......

    ReplyDelete