Tuesday, July 11, 2017

චීස් වල සිදුරු ඇතිවූයේ ඇයි?


සමහර චීස් වර්ග වල, විශේෂයෙන්ම ස්විස් චීස් වල ලස්සන රවුම් සිදුරු තිබෙනවා ඔයාලා දැකලා ඇති. කාටුන් වල මීයෝ උස්සන් දුවන්න ආස කරන්නෙත් මේ චීස් වර්ගනේ. 
කොහොමද මෙහෙම සිදුරු අැතිවුනේ?




''Eyes'' ලෙස ජනප්‍රිය මෙම සිදුරු, ස්විස් චීස් (Swiss-type cheese) හා සමහර ඕලන්ද චීස් වර්ග වල ආවේණික ලක්ෂණයක් ලෙස හැදින්විය හැකියි.



මේ සිදුරු හදන්නේ බැක්ටිරියා ක්‍රියාකාරිත්වය නිසා. මෙහෙම කිව්වාට හිතන්න එපා, බැක්ටිරියා එකතු වෙලා චීස් කෑල්ල කාලා  සිදුරු හදලා කියලා.

ස්විස් චීස් නිපදවීමේදි පැසීමේ ක්‍රියාවලිය සදහා බැක්ටිරියා වර්ග 3ක් භාවිතා කරනවා. 
  •  Streptococcus thermophilus 
  •  Lactobacillus helveticus 
  •  Propionibacterium shermanii 

Streptococcus thermophilus
Lactobacillus helveticus 

Propionibacterium shermanii 


පැසිමේ ක්‍රියාවලියේදි, බැක්ටිරිය වර්ග විසින් නිපදවන අතුරුඵලයක් වන කාබන් ඩයොක්සයිඩ් එක්රැස්වීමෙන් මෙසේ සිදුරු හැදෙනවා.  සැදෙන සිදුරු වල ප්‍රමාණය, උෂ්නත්වය හා නිෂ්පාදන කාලය මත වෙනස් වෙනවා. 


මුල් කාලයේ චීස් නිෂ්පාදකයන්ට මෙසේ සිදුරු ඇතිවීම ලොකු ගැටලුවක් උනා. ඒ නිසා ඔවුන් චීස් මත පීඩනයක් යොදා සිදුරු ඇතිවීම වැලැක්වීමට කටයුතු කලා. නමුදු අද වන විට සිදුරු, ආවේණික ලක්ෂණයක් බවට පත්ව අවසන්. 

මෙහිදි සදහන් කල යුතු තවත් වැදගත් කරුණක් තිබෙනවා. බැක්ටිරියා ක්‍රියාකාරකම් හේතුකොටගෙන සිදුරු ඇතිවන බව පිලිගත් පුළුල් මතයක් වුවත්, 2015 වසරේදි සිදුකරන ලද පරික්ෂණ අනුව, සිදුරු ඇතිරිම කෙරෙහි ගොවිපල ආශ්‍රිත ඇති පිදුරු දූවිලි වැනි හේතුන්ද බලපාන බවට කල්පිතයක් ඉදිරිපත් වුනා. මෙම සියුම් දූලි අංශු, දෙවීමේ ක්‍රියාවලින් අතර කිරිවලටද එක්වන අතර පසුව සිදුරු අැතිකිරිමටද බලපාන බව පරික්ෂකයින්ගේ මතය වුනා. මේ ගැන තවදුරටත් පරික්ෂණ සිදුවන අතර, ඉදිරි සොයාගැනිම් ගැන තොරතුරු ලද විගස ඔබ සමග බෙදාගන්නම්.

ඇමරිකාවේ FDA ආයතනයේ රෙගුලාසි අනුව, චීස් සිදුරක විශ්කම්බය අගල් 3 /8  - 13/16 අතර පැවැතිය යුතුයි.

ස්විස් චීස් කියලා කිව්වාට දැන් නම් මේවා ස්විට්සර්ලන්තයෙන් පිට තමයි නිෂ්පාදනය වන්නේ. ඇමරිකාව තුල විශාල ප්‍රමාණයෙන් වානිජව නිෂ්පාදනය කරනවා.


2 comments:

  1. මේ වගේ 'සිදුරු' පැසෙන්නට දමන ඕනෑම දේක තියෙනවා නේද?

    ස්තුතියි

    ReplyDelete
  2. ඔව් ලිඛිතා. නමුත් මේ තරම්ම හැඩයක් නැ. බොහෝ චීස් වර්ග වල සිදුරු දකින්න ලැබුනත් අක්‍රමවත් හැඩයන් තමයි දකින්න තියෙන්නේ. ස්විස් චීස් වර්ග වල දකින්න ලැබෙන සිදුරු ආවේණික හැඩයක් ගන්නවා.

    ReplyDelete