Saturday, August 5, 2017

චීනා පැනමා ඇළටත් ගේම දෙයිද? - නිකර්ගුවා ඇළ

මලක්කා සමුද්‍ර සන්ධිය බයිපාස් කරන්න තායිලන්තයේ ඉදිකිරිමට සැලසුම් කර ඇති ‘‘ක්‍රා ඇළමාර්ගය ගැන පෙර ලිපියකින් දීර්ඝ ලෙස කතා කලානේ. නමුත් බොහෝ දෙනෙක් නොදන්න තවත් ඇළක් කපන්න මේ වනවිටත් සැලසුම් සකස් වෙලා. මේක ක්‍රා ඇළට වඩා බරපතල දෙයක්.
මෙදාසැරේ චීනා ගේමක් දෙන්න හදන්නේ පැනමා ඇළටයි.




නිකර්ගුවාව (Nicaragua) මධ්‍යම ඇමරිකානු රටක්. මෙහි වෙසෙන මිලියන 6 ක පමණ ජනතාව කලක පටන් දිළිදුබවින්, ඒකාධිපතිවියරුවෙන් හා දේශාපලන ස්ථාවරත්වයෙන් පෙළෙමින් සිටිනවා. 80%ක ගේ පමණ දෛනික ආදායම ඩොලර් 2 කටත් අඩුයි. ඇමරිකාවේ තියන දිලිදුම රටක්.



කොතරම් දිළිදු වුවද ස්වභාවධර්මයේ සෞන්දර්යයෙන් අනූන රටක් බව කිව යුතුයි. එකදේශික විශේෂ රැසකට නවාතැනක් වන නිකර්ගුවාව නිතැතින්ම සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වෙනවා. එයම එහි ප්‍රධාන ආදායම් මාර්ගයක් පත්වෙලා. මධ්‍යම ඇමරිකාවේ විශාලතම විල මෙන්ම ලොව වර්ගප්‍රමාණය අනුව 19වැනි විශාලතම විල වන නිකර්ගුවා විල බොහෝ දෙනෙකුගේ ජිවිකාව මෙන්ම දියපහස ද සරිකරනවා.


එක් පසකින් පැෆිපික් සාගරයටත්, අනෙක් පසින් කැරිබියන් මුහුදටත් සිමාව ඇති නිකර්ගුවාව හරහා අන්තර්සාගරික ඇළක් කැනීමට යටත් විජිත සමයේ පටන්ම කතිකා කලද ඒවා සැලසුම් වලට පමණක් සිමා වුනා. පසුව පැනමාව හරහා දැවැන්ත ඇළ ව්‍යාපෘතියක් දියත් වූ අතර 1914 දී පැනමා ඇළ විවෘත කරනු ලැබුවා.

පැනමා ඇළේ අඩුපාඩුකම්, පැනමාවේ විශාල නැව් හැසිරිමට අපහසු විම, වානිජ මුහුදු වෙළදාමේ නැග්ම, ඉහල යන  ඉන්දන වියදම හා ගෝලියකරණය යන සාධක හේතුවෙන් නිකර්ගුවාව හරහාද ඇළක් කැපිය යුතු බවට එරට පාලකයින් විටින් විට අදහස් පල කලා. මෙය නිකර්ගුවාවේ ආර්ථිකය ගොඩගත හැකි හොදම ආයෝජනය බව ඔවුන් ප්‍රකාශ කලා. නිකර්ගුවා ඇළ මැත ඉතිහාසයේ මුල් වරට දේශපාලන වේදිකාව තුල දිගහැරෙන්නේ 2006 වසරේදි හිටපු ජනාධිපති එන්රික් ජොසේ ගේ ප්‍රකාශයක් හේතුවෙනි. 



මෙතැනටත් උදව්වට ආවේ කවුද කියලා හිතාගන්න පුලුවන් නේ. චීනාම තමයි.

2012 වසරේදි නිකර්ගුවා රජය හා චීන බිලියනපති වැන්ග් ජින් ගේ HKND (Hong Kong Nicaragua Canal Development) සමාගම අතර මූලික අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. 2013  අනුමත කල සැලැස්ම හා කාලරාමුව අනුව, නිකර්ගුවා ඇළ කැණිම,මෙහෙයවීම හා කලමණාකරය කිරිමේ බලය HKND වෙත පැවරුවා. ඇළමාර්ගයට අමතරව වරායන්, නිදහස් වෙළද කලාප හා ගුවන්තොටුපලවල් ඇතුලු යටිතල පහසුකම් සංවර්ධනය කිරිමක්ද මේ සමගාමිව සිදුකෙරෙනවා. 




ඇළ කැනිමට යන වියදම ඩොලර් බිලියන 40ක් පමණ වන අතර, වසර 5කින් සාදා නිමකිරිමට HKND අදහස් කරනවා. දිගින්  කිලෝමිටර් 278 ක්. ඉදිකිරිම් 2014 වසරේදි ආරම්භ වූවා.

නමුත් ඇළ කැනිමට එදිරිව නිකර්ගුවාව තුල ඇතිව ඇති ප්‍රතිරෝධයද එපමණටම විශාලය.
නිකර්ගුවා ඇළ, නිකර්ගුවාව රකිද විනාශ කරයිද?



අතිදැවැන්ත නිකර්ගුවා ව්‍යාපෘතිය මගින් ඇතිකරන පාරිසරික බලපෑම ද අතිමහත් ය. ඇළ ඉදිවන්නේ නිකර්ගුවා විල හරහාය. නිකර්ගුවා විල යනු පෙර සදහන් කල පරිදි මිරිදිය ජල ස්කන්දයකි. මෙවැනි මිරිදිය විලක් මුහුද හා ඇළමාර්ගයකින් එක්කිරිමෙන් ජලය ලවණීකෘත වේ. විලේ ජලය නෞකා මගින් දූෂණය වීම සිදුවේ. විශාල නැව් හැසිරවිමට තරම් විල ගැඹුරු නොවිම නිසා අත්‍යන්තයෙන්ම විලේ ගැඹුර මීටර් ගණනාවකින් හැරිමට සිදුවේ. ඉහත ක්‍රියාමාර්ග මගින් මිරිදිය සත්ත්ව විශේෂ වලට පැවැත්මට දැඩි බාධා ඇතිවේ.    විල සමග ජිවිකාව ගෙන පිරිස් වෙතද දැඩි බාදාවකි.

නිකර්ගුවා විල හරහා ඇළ ඉදිකිරිම සම්බන්දයෙන් රට තුල දැඩි ප්‍රතිරෝධයක් ඇතිව පවති. එමෙන්ම ඇළ කැනිම වෙනුවෙන් හෙක්ටයාර් ගණනාවක් වු නිවර්තන කලාපිය වනාන්තර වැස්මක්ද ඉවත්කිරිමට නියමිතය. මේ හේතුවෙන් ඒකදේශික සත්ත්ව හා ශාක ජ්‍රජාවන්ට ඇතිව බලපෑම අතිමහත් ය. අතිශය සංවේදි පරිසර කලාපයකට බලපෑමක් ඇතිවේ.

මෙසේ සිදුවන අතිවිශාල පරිසර විනාශය, නිකර්ගුවාවේ සංචාරක ව්‍යාපාරයටද දැඩිලෙස බලපෑමක් සිදුකරයි. 

නකර්ගුවාව පිහිටා ඇත්තේ කැරිබියන් සුළි සුළන් ගහණ, එමෙන්ම භූමි කම්පා සිදුවන කලාපයක බවද සදහන් කිරිම වැදගත් ය. යම් විටෙක ඇතිවන සුළි සුළගකින්, නිකර්ගුවා ඇළටද දැඩි බලපෑමක් කල හැක.

වැන්ග් ජින්ග්

ඇළ මාර්ගයේ කටයුතු සිදුකරණ HKND සමාගමට හෝ එහි ප්‍රධානි ජින්ග් මහතා හට හෝ මෙවැනි මහ පරිමාණ ව්‍යාපෘතියක් පිලිබදව අත්දැකිම් නොමැත. වැන්ග් ජින්ග් යනු සන්නිවේදන ක්ෂේත්‍රය පිලිබදව අත්දැකිම් ඇත්තෙකි. නිකර්ගුවාව වැනි සංවේදි කලාපයක් තුල ඔවුන්ගේ අඩු අත්දැකීම් සහිත හැසිරිම ඉතාම ප්‍රශ්ණ සහගතය.

ව්‍යාපෘතිය සදහා වැයවන බිලියන 50 ක මුදලක් වැයවේ. ජින්ග් මෙය තම පෞද්ගලික මුදලින් ආරම්භ කලද, ඉදිරි වැඩකටයුතු සදහා ආයෝජකයන් එක්කරගැනිමට අදහස් කරයි. නමුදු මෙතෙක් පිලිගත් දැවැන්ත ආයෝජකයකු ඉදිරිපත්ව නැත. එනයින් වඩාත් පැහැදිලි වන්නේ මේ පිටුපස චීන රජයේ මුදල් සංසරණය වන බවකි.






නිකර්ගුවා රජය විසින් නිකර්ගුවා ඇළ ව්‍යපෘතිය මගින් රට දිළිදු බවින් මුදවා ගැනිමට හැකිබව නිරන්තරයෙන් පවසයි. නිකර්ගුවාටට ආයෝජනයක් අත්‍යවශ්‍ය බව සැබැය. නමුත් රජයෙන් හා HKND පාර්ශවයේ කරුණු විටෙක පරස්පර විරෝධිය. ව්‍යාපෘතියෙන් රැකියා අවස්ථා ලක්ෂ 2ක් පමණ බිහිබව බව රජය උදම් ඇනුවද, HKND පවසන ආකාරයට රැකියා බිහිවන්නේ 50000 කි. එම රැකියා වලිනුත් 25000 ක් චීන ජාතිකයන්ට හිමිවේ.  

ඇළ ව්‍යාපෘතිය මගින් නිකර්ගුවා හී ව්‍යවස්ථාව අභිබවා HKND කටයුතු කරනබව විරෝධින්ගේ චෝදනාවයි. ඇළ දෙපස භුමියේ අයිතිය ද HKND වෙත පැවරෙයි. ව්‍යෘපතිය මගින් ලක්ෂයකට ආසන්න ජනතාවක් අවතැන් වේ.  ජනමාධ්‍ය වාරණය කර ඇත.

නිකර්ගුවා ඇළ මාර්ගයට සටන් වැදිමට සිදුවන්නේ පැනමා ඇළ සමගයි. පැනමා ඇළ ශතකයක් තිස්සේ සේවා සපයයි. පැනමා ඇලේ අවහිරතා නිසා විශාල නැව් හැසිරවීම අපහසු බව සත්‍යයකි.  නමුත් පැනමා ඇළ පුළුල් කිරිමේ ව්‍යාපෘතියක් දැනටමත් අරබා ඇත.  විටෙක නිකර්ගුවා ඇළ පිලිබදව අති තක්සේරුවක් පවතින බවක් හැගේ. චීනය මේ අතරතුර හොන්ඩියුරාස් රාජ්‍ය තුල දුම්රිය පද්ධතියක් ඉදිරිමට ද සැලසුම් සකස් කර ඇත. නිකර්ගුවා ඇළ මගින් ආසන්න රටවල් වල හොන්ඩියුරාස් හා එල්සැල්වඩොර් වෙතද බලපෑම් කරයි.

2014 වසරේ ඉදිකිරිම් ආරම්භ කලද 2017 වසර වන තෙක් කැපි පෙනෙන ඇගට දැනෙන ඉදිකිරිමක් සිදුකිරිමට හැකියාවක් ලැබි නැත. 

නිකර්ගුවාවට ආයෝජනයක් අවශ්‍ය  බව සත්‍යකි
නමුදු එය ඇළක්ම විය යුතුද?

ඉල්ලා සිටිය හැක්කේ,
නිකර්ගුවා ජනයාට සාධාරණයක් ඉටුකර දෙන ලෙස පමණි!

2 comments:

  1. මේ ගැන තව කියවන්න කුතුහලය ඇතිකලාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. නියමයි ඉයන්.
      අපේ බලාපොරොත්තුවත් එයයි.

      Delete