Friday, August 4, 2017

සොඳුරු නිර්ධය සිනමා විචාරකයා - ජයවිලාල් විලේගොඩ

෴සොඳුරු නිර්ධය සිනමා විචාරකයා - ජයවිලාල් විලේගොඩ෴
ඔහු අප අතැර ගියේ අදවැනි (අගොස්තු 04) දිනකය.





‘‘සන්ධ්‍යා ජීවරාණිට ගසයි. ඔස්වල්ඩ් වොලිට ගසයි. වොලී රොබින්ට ගසයි. බිරියක් කන්තෝරුවට ඇවිත් ඇගේ සැමියාට ගසයි. ඩි.ආර්. නානායක්කාර බයිසිකලයට ගසයි. කතා රචකයා අහුවන අහුවන හැමෝටම ගසයි. (බයිසිකල් හොරා චිත්‍රපටය)

‘‘මිනිමැරුම් තුප්පයි ගීත හා සංකර නැටුමට මුල්තැන දුන් ශ්‍රි 286 මුලින්ම වෙසක් දා පෙන්වන ලද්දේ එමගින් වත් චිත්‍රපටයේ පවුසෝදා හරින්නට දැයි මම නොදනිමි‘‘ (ශ්‍රි 296 චිත්‍රපටය)

මේ ජයවිලාල් විලේගොඩයන්ගේ සියක් විචාර වලින් දෙකක් පමණි. ජයරත්න විලේගොඩ නමින් උපන් ජයවිලාල් විලේගොඩ නමින් ප්‍රසිද්ධ මෙරට වෘත්තියමය සිනමා විචාරකයා නික්ම ගොස් දශක 4 කටත් වැඩිය. යමෙකුට අමතකවිය හැක. නව පරපුර නොදන්නා වියහැක. නමුදු ජයවි ඉතිරිකර ගිය මතකයන් කිසිදා මැකිය නොහැක.

යමෙකු ඔහුගේ විචාරයන් නිර්ධය යැයි පවසනු ඇත. ඔහුගේ වචන භාවිය රළුය. උපමා උපමේය පහරදෙන සුලුය. ඔහුගේ භාෂාමාධ්‍ය සරලය. විදග්ග වචනින් බාහිරව ගමේගොඩේ වචන භාවිතා විය.

සිංහල සිනමාවේ පුරෝගාමි යුගයේදි දැඩිව වෙලා පැවැති රෝගයක් විය. එයනම් දක්ෂිණ භාරතිය සිනමා යටත්විජිතවාදයයි. සිංහල චිත්‍රපට හැදුනේ දෙමල උරුවටය. නලුනිලියන් ඇන්දේ දෙමල උරුවටය. හුදෙක්ම සිංහල කතා කරන දෙමල චිත්‍රපටය. ජයවිලාල් දැඩිව මෙයට විරුද්ද පෙනි සිටියේය. යම් සිංහල චිත්‍රපටයක් නිපදවූයේ ඉන්දියානු චිත්‍රපයක් අනුකරණයෙන් නම් ඔහුගේ විවේචන දරුණු විය.

‘‘පියදාස සිරිසේන ශූරින් අද ජීවතුන් අතර සිටියානම් තම පොත තිරයට නැංවි ඇති අයුරු ඔහු දුටුවානම් සුරාවට හා බටහිර සිරිතට පහර දීමට යෙදු තම පෑන අන් හැමට ම කලින් සිංහල සිනමාවට වැළදි ඇති ද්‍රවිඩ මුහුණුවර තුරන් කිරිමට යොදන බව මට සහතිකය‘‘ (ඩිංගිරි මැණිකා චිත්‍රපටය පිලිබද)

‘‘චිත්‍රපටයේ හියුගෝ ප්‍රනාන්දු ටි.ආර්. රාමචන්ද්‍රන්ට අන්දා ඇත. ඇන්තනි සි ප්‍රනාන්දු හා ජෝ අබේවික්‍රම නම්බියාර් හා තංගවේලුට අන්දවා ඇත. ක්ලැරිස් ද සිල්වා අංජලිට අන්දවා ඇත. සිංහල සිනමාලෝලින් ගොනාට අන්දවා ඇත‘‘(අල්ලපු ගෙදර චිත්‍රපටය පිලිබදව)

ජයවි ගේ විචාර කලාවට පෙම්බැදි ජනතාවක් විය. ඔහුගේ ලිපි පලවු දිණමිණ පත්‍රයට හොද ඉල්ලුමක් තිබිනි. ජයවිලාල් ගේ විචාර බලා චිත්‍රපට නරබන ප්‍රේක්ෂක ජනතාවක්ද බිහිව තිබිණි. මේ හේතුවෙන් ජයවිලාල් ට සතුරන් බොහෝමයක් ද විය. මරණ වරෙන්තුව ද නිකුත්ව තිබිණි. නමුත් ජයවිලාල් ලිවිල්ල නම් නතර නොකලේය. පසුකාලිනව චිත්‍රපට වලින් ‘‘ගොං ජෝක්ස්‘‘, ‘‘මෙලෝ යකෙක්ට නොතේරෙන දෙබස් වාක්‍ය‘‘, අබව්‍ය අතිශයෝක්ති රංගන ගැලවි යාමටද මෙම විචාර යම්තාක් දුරකට හේතුවිය.

අවාසනවට ඔහුගේ දිවිගමන කෙටි විය.
මැදි වියේදිම ජයවිලාල්ගේ අතින් පෑන අත්හැරිනි.
ඔහු නිහඩ විය.

බස රළු විය හැක!
විවේචන නිර්ධය විය හැක!
නමුත් ජයවිලාල් පැතු යමක් තිබිණි.
ඒ ‘‘සිංහල‘‘ සිනමාවයි.

-රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment