Friday, August 17, 2018

හිට්ලර්ව රැවටූ මියගිය සෙබළා!

දෙවැනි ලෝක යුද්ධයේ එක්තරා වැදගත් සටනකදි නාසීන් මුළාකල අරුම මෙහෙයුමක් ගැනයි අද ලිපිය දිගහැරෙන්නේ!





ක්‍රි.ව 1943 අප්‍රේල් 30 වැනිදා!
දෙවැනි ලෝක යුද්ධය උච්චතම අවස්ථාවට පත්ව ඇති සමයකි. නමුදු සෑම ගින්නටම වඩා බඩගින්න ඉවසා දරා සිටිය නොහැකි බැවින්  සිරිත් පරිදි උදෑසනම දකුණු දිග ස්පාඥ්ඥයේ හුයෙල්වා වෙරළින් මසුන් මරන්නෙකු යාත්‍රාව දියත් කලේය.  රළ සමග පොර බඳමින් ඉදිරියට යාත්‍රාකරන ඔහුගේ නෙත ගැටුනේ, පා වී එන සිරුරකි. විපරම් කරන මසුන්මරන්නාට සෙබලෙකුගේ සිරුරක් බව හදුනාගැනිමට අපහසු නොවේ. සිරුර වහාම යාත්‍රාවට දමාගත් ඔහු නැවත වෙරළ කරා රැගෙන යන්නට විය.

සෙබළ සිරුර ස්පාඥ්ඥ නාවික නිලධාරින්ට බාරදුන් අතර මරණපරික්ෂණයක් සදහා යොමුකෙරිනි. ගුවන් අනතුරකින් මියගියායැයි සැකකෙරෙන මෙම පුද්ගලයා බ්‍රිතාන්‍යයේ විලියම් මාටින් නැමැති මේජර්වරයකු බව නිලඇදුමෙන් හමුවු තොරතුරු ඇසුරින් අනාවරණය විය. කළු පැහැති බ්‍රිෆ්කේස් එකක්ද මළ සිරුර සමග හමුවිය. එහි වූ ලියකියවිලි පිලිබදව සැවෝම උනන්දු විය. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය හරහාද ස්පාඥ්ඥ යේ මැඩ්රිඩ් බලධාරින් වෙත දන්වා සිටියේ මෙම ලිපිගොනුව අතිශය වැදගත් බැවින් වහාම සුරක්ෂිත කරන ලෙසයි.

ස්පාඥ්ඥය දෙවැනි ලෝක යුද්ධයේදි මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කලද පැවැති පාලනය යටි සිතින් ජර්මානු හිතවාදින් විය. ස්පාඥ්ඥයේ සැලකිය යුතු ප්‍රමාණයක් ජර්මානු ඔත්තුකරුවන්ද රදවා තිබිණ. මැඩ්රිඩ් හි හිත මිත්‍ර ස්පාඥ්ඥ නිලධාරින් මගින් නාසින් හට රහසිගත ලිපිගොනුවල පිටපත් ලබාගැනිමට හැකිවිය. විදුලි වේගයෙන් බර්ලිනය වෙත ඒවා ගමන්කරන්නට විය.



අවසානයේ හිට්ලර්ගේ මේසය මතට මළ සෙබළා සතුව තිබු රහසිගත ලේඛනය පැමිණින. එම ලියකියවිල්ලේ අකුරු හිට්ලර් මොහොතකට චකිතයට පත්කරන්නට ඇතුවා නිසැකය. එහි වූයේ මිත්‍රපක්ෂිකයන් විසින් ග්‍රීසිය හා සර්ඩිනියාව ආක්‍රමණය කිරිම පිලිබද සැලැස්මයි. වහ වහා ක්‍රියාත්මක වූ හිට්ලර් තම සියලුම බලය යොදා ග්‍රීසිය හා සර්ඩිනියාව ආරක්ෂා කරගැනිමට අණකලේය.  සන්නහ සන්නද්ධ බලකායන්, පාබල හමුදා මෙන්ම ටෝපිඩෝ බෝට්ටුද ග්‍රිසියේ ආරක්ෂාව වෙනුවෙන් අනෙකුත් පෙදෙස් වලින් ගෙන්වාගත්තේය. ජර්මානු ගුවන්හමුදාව ග්‍රිසියේ ගුවන්කලාපයේ ආරක්ෂාව තරකලේය. ග්‍රිසීය හා සර්ඩිනියා ආක්‍රමණය කිරිමට එන මිත්‍ර පක්ෂ වලට එදිරිව ජර්මාණු හමුදාව සීරුවෙන්!

නමුදු මෙය රැවටිල්ලකි. දෙවැනි ලෝක යුද්ධයේ සිදුවු අතිසාර්ථකම නොමගයැවීම මෙය බවට සැකයක් නැ. මිත්‍ර පක්ෂයේ කෞරාටික උපක්‍රමක් බව හිට්ලර් කිසිදා නොසිතන්නට ඇත.



1943 වන විට ලෝක යුද්ධය එහි උච්චතම අවස්ථාවට ලගා වී ඇති අතර තවමත් හිට්ලර් සැලකිය යුතු යුරෝපා භූමියක් තම පාලනයට නතුකරගෙන ඇත. පලමු අඩිය බරට තැබිමට සූදානම් වන මිත්‍ර පාක්ෂි හමුදාවල අරමුණ වූයේ ඉතාලියේ සිසිලි දූපත් තම පාලනයට නතුකරගැනිමයි. නමුදු ඉතාලි පාලක මුසෝලිනි ද මේ ව්‍යායාමය ගැන හොදහැටි දැන සිටි බැවින් සිසිලයේ ආරක්ෂාව තර කලේය.

සිසිලයේ තම ජය තහවුරුකරගැනිමට මිත්‍ර හමුදාවට දෑතේ විරිය මෙන්ම මොළයද වෙහෙසවන්නට සිදුවිය. බ්‍රිතාන්‍යයේ බුද්ධි අංශයේ චාල්ස් චෙම්ලි හා ඊ.මොන්ටෙගු යන නිලධාරින්ගේ මූලිකත්වයෙන්  අක්ෂ පක්ෂය නොමගයැවීම සදහා  සැලසුම් සකස් වෙන්නේ මේ අතරතුරදිය. ඒ සදහා ජේමිස් බොන්ඩ් ලොවට දායාද කල හිටපු බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිලධාරි ‘‘ඉයන් ෆ්ලෙමින්‘‘ ගේ පෙර සැලසුමක්ද ආශ්‍රය කොටගත් බව සැලකේ. 

මෙහෙයුමට එක්වූ පිරිස

Operation Mincemeat නම් වූ එම රහස් ව්‍යාපෘතියේ අරමුණ වූයේ මිනිස් ඇමක් යොදාගෙන ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරමින් මිත්‍රපක්ෂ හමුදාවේ ආකල්පය වෙනත් ස්ථානයක් ආක්‍රමණය කිරිම බව ජර්මානුවන්ට හඟවා, සිසිලියේ ආරක්ෂාව දුර්වල කිරිමයි. 

මයිකල් ගේ සිරුර

මේජර් විලියම් මාටින් යනු සත්‍ය පුද්ගලයකු නොවේ. මෙහෙයුම වෙනුවෙන්ම සැකසු නාමයක් වූ මාටින් යැයි හුවා දැක්වූ සිරුර, ග්ලින්ඩ්වර් මයිකල් (Glyndwr Michael) නම් තැනැත්තෙකුගේය. 

දෙමාපියන් හෝ ඥාතින් නොමැති රැකියා විරහිත හිසට සෙවනක් නැතිව ඉච්ඡාභංගත්වයෙන් දිවිගෙවූ මයිකල්ව මී පාසනම් විසවීමක් හේතුවෙන් රෝහල්ගතකෙරුනු අතර දිනදෙකකින් මෙලොව හැරගියේය. සැලසුම් කෙරුනු මෙහෙයුම සදහා සුදුසු මළසිරුරක් සොයමින් සිටි බුද්ධි නිලධාරින් හට මයිකල්ගේ සිරුර ලැබිණ. 

ව්‍යාජ හැදුනුම්පත


මාටින්ගේ පෙම්වතියගේ යැයි හුවාදැක්වූ ඡායාරුව

ඒ අනුව නිලධාරින් විසින් මයිකල් හට විලියම් මාටින් නමින් නව අනන්‍යතාවක් ලබාදුන්නේය. ජිවත්ව සිටි කාලයේදි වත් නිසිලෙස ආවරණය කරගැනිමට අසමත් වූ මයිකල්ගේ සිරුරේ හමුදා නිලධාරියෙකුගේ වස්ත්‍රයෙන් හැඩවිය. ව්‍යාජ හැදුනුම්පත් සකස් කෙරින. සාක්කු විවිධ දැ වලින් පිරවිය.  විලියම් මාටින් හට පෙම්වතියක් ද විය. ඇය බුද්ධි අංශ නිලධාරිනියක් වූ අතර ඈ ලියු පෙම් හසුන් හා ඡායාරුප විලියම් ගේ සාක්කුවල රැදවීය. මෙහෙයුමේ හදවත බදු  ආක්‍රමණය ලියකියවිලි කළු බ්‍රිෆ්කේස් එකක දමා මාටින් ගේ මැණික් කටුවට පටියකින් සම්බන්ධ කලේය. මේ සියලු ප්‍ර්‍යාත්නයන් විලියම් මාටින් යනු සත්‍ය බ්‍රිතාන්‍ය සෙබළකෙු බවට ජර්මානුවන්ට එත්තුගැන්වීමට යොදන උපාය වේ.

චෙම්ලි හා මොන්ටෙගු
(මෙය මාටින්ගේ සිරුර ප්‍රවාහණය කරන අවස්ථාවකි)
 ඉතාම සූක්ෂම ලෙස සැකසු මාටින් ගේ මළසිරුර බ්‍රිතාන්‍ය සබ්මැරීනයක නංවා ස්පාඥ්ඥය වෙත රැගෙන ගිය අතර හුයෙල්වා වෙරළ ආසන්නයේදි මුහුදට දැමීය. මසුන් මරන්නා ගොඩබිමට රැගෙන ගියේ එයයි. සිතු සේම සියල්ල සිදුවිය. බ්‍රිතාන්‍යයන්ගේ ඇමට අක්ෂ පක්ෂ හමුදා හසුවිය. සිසිලිය වෙත වූ අවධානය අවම විය.



නිසි මොහොත එලබෙන තුරු කල්මරමින් සිටි මිත්‍ර හමුදා  1943 ජූලී 09 වැනි දින දැවැන්ත පාබල හා ගුවන්  බලයක් යොදවා සිසිලිය ආක්‍රමණය කලේය. නාසි හමුදාව ග්‍රිසියට එල්ලවන ප්‍රහාරයක් ගැන සිතමින් රස්තියාදු වෙද්දි,  සිසිලිය ජයගැනිමට මිත්‍රපාක්ෂිකයන්ට අවස්ථාව ලැබිණ. 

හිට්ලර් රවටා, නාසි හමුදාව නොමග යවා දෙවැනි ලෝක යුද්ධයේ සංධිස්ථානයක් සනිටුහන් කල මෙහෙයුමකට දායකත්වය දී අනන්‍යතාවය ද අහිමිකරගත් ග්ලින්ඩ්වර් මයිකල්,  ස්පාඥ්ඥයේ හුයෙල්වා වෙරළ තීරයේ විලියම් මාටින් නාමයෙන් අඩි 6ක් යට  සමාදානයෙන් සැතපී හිදි.



යුද්ධයෙන්ද දශක කිහිපයකට පසුව එනම් 1998 දී බ්‍රිතාන්‍යයන් විසින් මයිකල් හට ගෞරවයක් ලෙස සොහොන් කොතේ ඔහුගේ අනන්‍යතාව සටහන් කලේය.

Glyndwr Michael; Served as Major William Martin


- රොෂින් ප්‍රනාන්දු


3 comments: