Tuesday, August 14, 2018

සැමියා පරපෝෂිතයෙකු වූ කල!

ඔබේ සැමියා ඔබ යන හැම තැනකම ලගින්ම ඔබ සමග ඉන්නවානම්? 
ඔබ සිරුරට බද්ධ වී ඔබ සමීපයේ සිටිනවානම්? 
ඔබ කැමතිද?




ඔබේ සිතිවිල්ල කුමක් වුවත්, සත්ත්ව ලෝකයේ සිටින එක්තරා මත්ස්‍යයන් වර්ගයක් තම සැමියාව/සැමියන්ව සිරුරේ දරා සිටිනවා.

ලොව පුරා ගැඹුරු සාගර ජලයෙන් ඇන්ග්ලර්ෆිෂ් (Anglerfish) මත්ස්‍යවර්ග 200 කට අධික ප්‍රමාණයක් හමුවෙනවා. ආදි පෘථිවියේ මුහුදේ රජකරමින් සිටි ඇන්ග්ලර්ෆිෂ් විශේෂ බොහෝමයක් අද එලියක් නොමැති ගැඹුරු සාගර පත්ලේ හුදෙකලාවේ දිවිගෙවයි.



තද දුඹූරු - තද කළු පැහැති විරුපි අවශිෂ්ඨ හැඩතල සහිත මාංශභක්ෂක අස්ථික මසුන් වන අතර උල් දත් පිරි විශාල මුඛයක් ද සහිතයි. අගල් 8 සිට අඩි 3 දිග පරාසයේ සිරුරු දැකිය හැකිය.

ඇන්ග්ලර් ෆිෂ් ගැහැණු සත්ත්වයන් ගේ හිස ඉදිරිපසින් නෙරාඑන විශේෂිකරණය වූ ‘‘esca‘‘ අවයවයක් මගින් තම ගොදුරු රැවටීමට හැකියාව ඇත. එම අවයවය මත ජීවත්වන බැක්ටිරියා වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් ආලෝකය නිපදවීම නිසා එයට රැවැටි තමා අසලට එන කුඩා සත්ත්වයන් අල්ලාගැනිම සිදුකරයි.  ඇන්ග්ලර් ෆිෂ් ගේ දැවැන්ත මුඛයත් නම්‍යශිලි ශරිරයත් හේතුවෙන් ගොදුරු වලට බේරීයෑම පහසු කාර්යයක් නොවේ.

ඇන්ග්ලර්ෆිෂ් ගේ ප්‍රජනනයේදි ලිංගික පරපෝෂි හැසිරිම පුදුම එලවන සුලුය.

විශාල රූපය -  ගැහැණු සත්ත්වයා
කුඩා රූපය- පිරිමි සත්ත්වයා

ඇන්ග්ලර්ෆිෂ් ගැහැණු සතුන්ට වඩා පිරිමි සතුන් සැලකිය යුතු ලෙස කුඩාය. ඇතැම් ඇන්ග්ලර්ෆිෂ් විශේෂ වල පිරිමි සතුන්ට වඩා ගැහැණු සතුන් 60 ගුණයක් පමණ දිගකින්ද දහස් ගුණයක බරින්ද යුක්තය. පිරිමි සත්ත්වයන්ගේ දේහයේ පද්ධති වර්ධනයද ඌණ මට්ටමක පවති.

ඇන්ග්ලර්ෆිෂ් වෙසෙන කටුක පරිසරය තුල විරුද්ධ ලිංගිකයන් සොයාගැනිමට අපහසුය.  ගැහැණු මත්ස්‍යයන් සොයාගැනීම සදහා පිරිමි මත්ස්‍යයන් හට ගැහැණු ඇන්ග්ලර්ෆිෂ් ප්‍රදීප්ත අවයවයද ගන්ධයද උපකාරි වේ. යම් හෙයකින් දෙදෙනා මුණගැසුනහොත් කිසිදා වෙන්නොවන ලෙස එකතු වීමට තීරණය කරයි.



කුඩා පිරිමි ඇන්ග්ලර්ෆිෂ් විසින් ගැහැණු ඇන්ග්ලර්ෆිෂ් ගේ සිරුර සපා කයි. එමෙන්ම එන්සයිම නිකුත් කර පටක දියකරමින් ස්ථිර ලෙස ඇගේ සිරුර හා බැදේ. ගැහැණියගෙන් අවැසි පෝෂණය ලබාගන්නා පිරිමියා, අෑ වෙත ප්‍රජනනය සදහා අවැසි ජන්මානු ලබා දේ. එක්  ගැහැණු සත්ත්වයෙකුට පිරිමි සත්ත්වයන් කිහිපදෙනෙකු දරාසිටිමේ හැකියාව ඇත. ගැහැණු ඇන්ග්ලර්ෆිෂ් ගේ මරණයත් සමග  සැමියාගේ/සැමියන්ගේ ආයුකාලයද අවසන් වේ.

ඒ අනුව ඇන්ග්ලර්ෆිෂ් යනු ‘‘ඔයා මැරුනොත් මාත් මැරෙනවා‘‘ යැයි බය නැතුව කියන්න පුලුවන් සත්ත්වයෙක්.

- රොෂීන් ප්‍රනාන්දු

2 comments:

  1. හොද පවුල් සංස්ථාවක් වගේ.....

    ReplyDelete
  2. ඇත්තටම මේ web page එක දැනුමින් අනූන තැනක් සුපිරි වැඩක් ඉදිරියට මෙය
    මෙය
    රැගෙන යාමට ෂක්තිය ධෛර්යය ලැබේවා.

    ReplyDelete