Wednesday, August 9, 2017

පරමාණු බෝම්බ දෙකකින්ම දිවිගලවාගත් මිනිසා

1945 වසරේ අදවැනි දිනකදී ජපානයේ නාගසාකි වැසියන් ඉතා අමිහිරි අත්දැකිමට මුහුණ දෙනවා. ඇමරිකානුවන් විසින් ජපානය හිස මත පතිත කල පරමාණු බෝම්බ ප්‍රහාර දෙකෙන් විශාල පිරිසකට දිවි අහිමි වෙනවා. 
නමුත් හිරෝශිමා හා නාගසාකි ප්‍රහාර දෙකටම මැදිවෙලා දිවිබේරාගත් පුද්ගලයෙක් ඉන්නවා කියලා
ඔයාලා දන්නවාද?





1945 අගෝස්තු 09 එනම් අදවැනි දිනකදී  ඇමරිකානු B-29 වර්ගයේ  ප්‍රහාරක යානාවක් නාගසාකි ඉහල අහසේ වලාකුළු දෙබැකරමින් ඇදෙන්නට උනා. එයින් නිකුත් කල ෆැට් මෑන්  නම් පරමාණු බෝම්බය, බොහෝ දෙනකුගේ ජිවිතයත් ජපානයේ ඉදිරිගමනටත් සදහටම වෙනස් කලා. 

නාගසාකි ප්‍රහාරය යමගුචි ට නම් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ. මක්නිසාද යත් ඔහු ඒ වන විටත් හිරෝශිමා පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් තුවාල සහිතව යාන්තමින් දිවිගලවාගෙන සිටි බැවිනි. මෙසේ දිගහැරෙන්නේ පරමාණු බෝම්බ දෙකටම මැදිව දිවිගලවාගත් පුද්ගලයා ලෙස ජපානය නිල වශයෙන් පිලිගන්නා යමගුචිගේ කතාවයි.

සුමොතෝ යමගුචි (Tsutomu Yamaguchi)



යමගුචි, පලමු ලෝක යුද්ධයේ උණුසුම මැද මෙලොව එළිය දුටි. හිරිමල් යෞවනයේදිම Mitsubishi Heavy Industries සමාගම සමග සම්බන්ද වන ඔහු පසුව ඉන්දන ටැංකි සැලසුම්කරුවකු බවට පත්වේ.  ලොවම භිතියට පත්කල,ජපානයේ අඳුරු දිනයන් දෙක පිලිබද ඔහුගේ අත්දැකිම මෙසේය.


1945.08.06 
ස්ථානය - හිරෝශිමා නගරය
වේලාව -  උදැසන 


යමගුචි සිය පවුල සමග ජිවත් වූයේ නාගසාකි නගරයේ වුවත්, ව්‍යාපාරික කටයුත්තක් හේතුවෙන් හිරෝශිමා නගරයට පැමිණ තිබුනේ මාස 3කට පෙරය. අද ඔහු හිරෝශිමා නගරයේ රැදි සිටින අවසාන දිනයයි. තම නිවස්නය වෙත යෑම සදහා යමගුචි සූදානම් වෙමින් සිටියේය. බිරිද හසිකෝ හා පුංචි පුතා කත්සිතොශි ඔහු එනතුරු මග බලමින්.

උදෑසන 8.15 පමණ වන්නට ඇත. ගගන සරන යානාවක හඩ, මිට්සුබිශි තටාකාංගනයේ සිටි යමගුචිගේ සවන් වැකිණි. අහස දෙස බැලූ ඔහු දුටුවේ, යමක් අත්හරිනා ආකාරයයි. එක්වරම ක්ෂණික දිස්නයක් ඇතිවිය.  ඇතිවූ කම්පනයෙන් යමගුචි පසෙක වූ අගලකට විසික් විය. 


Little boy

යමගුචි පවසන ආකාරයට සිදුවු දෙය ගැන ඔහුට අවබෝධයක් නැත. මද වෙලාවක් ක්ලාන්තව සිට ඇති ඔහු අවදිවන විට දෑස් නොපෙනුන බව පැවසේ.  බෝම්බය ඇති කල විනාසයෙන් නැගුණු දූලිවළා ඉර එලියද මුවාකර තිබිනි. දෑත් දෙක හා ශරිරයේ පැත්තක් පිලිස්සි තිබු අතර, කන්බෙර දෙකම පැළි තිබිණි.  බෝම්බය පතිත වූ ස්ථානය හා යමගුචි අතර තිබුනේ කිලෝමිටර් 3ක පමණ පරතරයකි. 

ප්‍රහාරයෙන් පසුව නැගි සිටි යමගුචි ඉබාගතෙන් අැවිදිනු දුටු ඔහුගේ සේවාස්ථාන මිතුරන් දෙදෙනකු පිහිටට පැමිණින. ඔවුන් දෙදෙනාට ප්‍රහාරයෙන් අනතුරක් සිදුව තිබුනේ නැත. මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව පසුදින නාගසාකි බලා දුම්රියෙන් පිටත්විය.

යමගුචි නාගසාකි හි තම නිවසට පැමිණෙන විට රුදුරු හිරෝශිමා පරමාණු බෝම්බ අත්දැකිමෙන් ලොවම සලිත වී තිබිනි. මෙය සැමට නව අත්දැකිමකි. බොහෝදෙනෙක් අකමැති අත්දැකිමකි.
දහස් ගනනකගේ දිවි තොරකල ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ඇමරිකානු ජනාධිපති ටෘමන් ‘‘ලිට්ල් බෝයි‘‘ පරමාණු බෝම්බ ප්‍රහාරය ගැන උදම් අනමින් වාර්තා නිකුත් කලේය. ජපානයට යටත් වන ලෙස ඔහු තවදුරටත් අනතුරු අගවමින් සිටියේය.

යමගුචි ට සිදුව තිබු පිලිස්සුම් තුවාල නිසා මිතුරු වෛද්‍යවරයකුට මෙන්ම පවුලේ අයටද ඔහුව එක්වරම හදුනාගත නොහැකි වූ බව පැවසේ. වෙලුම්පටි වලින් ආවරණය කරතිබු යමගුචි ගේ සිරුර දුටු ඔහුගේ මව පවා බිය වූ බව පැවසේ.


1945.08.09
ස්ථානය - නාගසාකි
වේලාව - උදැසන




කොතරම් තුවාල ලැබූවද, කොතරම් වේදනා වින්දද යමගුචිට සේවයට වාර්තා කිරිමට අවශ්‍ය විය. වෙලුම් පටිද මගින් ඔහු මිට්සුබිශි ආයතනයේ සේවයට වාර්තා කලේය. හිරෝශිමාවෙන් බේරි පැමිණි යමගුචි කා අතරත් කතාබහට ලක්විය. සේවාස්ථානයේ ඉහල නිලධාරි පවා යමගුචිගෙන් හිරෝශිමා බෝම්බය පිලිබදව තතු විමසමින් සිටියේය. බෝම්බය වැටුනු ආකාරය, විනාශය වූ ආකාරය, ජිවිත හානි, තුවාල, සිදුවු විනාශයේ තරම යමගුචි විස්තර කරමින් සිටියේය.


Fat man

උදැසන 11.00 පමණ වන්නට ඇත. යමගුචි, අධ්‍යක්ෂකවරයෙකු සමග හිරෝශිමාවේ තතු විචාරමින් සිටි අවස්ථාවකි. එක්වරම නැවතත් පිපිරිමක් සිදුවිය. ඒ ඇමරිකාව විසින් ෆැට් මෑන් පරමාණු බෝම්බය හෙලනු ලැබූ අවස්ථාවයි. ඔහු සිටි කාර්යාලයේ පිහිටිම හා සවිශක්තිය හේතුවෙන් පෙරදි මෙන් යමගුචි තුවාල ලැබුවේ නැත. සිරුර ඔතා තිබු වෙලුම්පටි ගැලවි යෑම හේතුවෙන් තුවාල නිරාවරණය වීම නිසා පසුකාලිනව දැඩි උණ තත්ත්වයක් ඇතිවිය. එමෙන්ම පිළිකාකාරක විකිරණ වලට යමගුචි නිරාවරණය විය.

දෙවැනි වරටත් යමගුචි ජිවිතය බේරාගත්තේය.

යමගුචි වහා තම පවුලේ අය සොයාගියේය. නිවස සුණුවිසුණුව ව තිබෙනු දුටු ඔහුගේ හද සලිත විය. නමුදු වාසනාවට මෙන් බිරිද හා දරුවා ප්‍රහාරයෙන් දිවිගලවාගෙන තිබිණි. යමගුචි ගේ බිරිද, යමගුචිගේ සිරුරේ පිලිස්සුම් තුවාල වලට ගැල්වීම සදහා තෙල් සෙවිමට ගොස් සිටිම නිසා දිවිබේරාගැනිමට හැකිව තිබිනි. 

පිලිස්සුම් තුවාල හේතුවෙන් යමගුචි රෝගාතුර විය. නිරන්තරයෙන් වමනය පිටවිය. එමෙන්ම විකිරණ වලට නිරාවරණය වීම නිසා කෙස් හැලි ගියේය. කාලයත් සමග ඔහු සුවය ලද නමුදු වම් කනේ ඇසිම අහිමි විය. 

යුද්ධයෙන් පසුව භාෂා පරිවර්තකයෙක් හා ගුරුවරයෙක් ලෙසද ඔහු සේවය කලේය. තවත් දියණියන් දෙදෙනකු පියකු වීමටද වරම් ලදි. පසුකාලිනව න්‍යෂ්ඨික අවිහරණය වෙනුවෙන් පෙනි සිටියේය.

2009 වසරේදි අාමාශයේ පිළිකාවක් හේතුවෙන් යමගුචි සදහටම දෙනෙත් පියාගත්තේය





සැ.යුහිරෝශිමා හා නාගසාකි පරමාණු බෝම්බ දෙකෙන්ම දිවිගලවාගත් සැලකිය යුතු තරම් පිරිසක් සිටියි. ඔහුට හිරෝශිමාවේදි උපකාර කල  අකිරා හා සාතෝ යන මිතුරන්ද නාගසාකි ප්‍රහාරය සිදුවන අවස්ථාවේදිද එහි සිටියේය. නමුදු ප්‍රහාර දෙකෙන්ම දිවිගලවාගත් පුද්ගලයා ලෙස නිලවශයෙන් පිලිගන්නේ යමගුචි මහතාවය.

යමගුචි,
ප්‍රහාර දෙකකින් බේරුනු වාසනාවන්තම පුද්ගලයාද?
ප්‍රහාර දෙකටම මැදිවූ අවාසනාවන්තම පුද්ගලයාද?


- රොෂීන් ප්‍රනාන්දු

මේ හා සබැදි ලිපි බොහෝමයක් පෙර දී ජනේලයේ පලව ඇති අතර, සැගවුණු ඉතිහාස කතා හා භෞතික විද්‍යාව යන ලේබල වලට පිවිසිමෙන් ඒවා නැරඹීමේ අවකාශය ඇතිබව කාරුණිකව මතක්කොට සිටිමි!

2 comments:

  1. සැහෙන කාලෙකින් දැක්කේ

    ReplyDelete
  2. මම හැමදාම දාන ලිපි කියෝනව. කමෙන්ට් නොකලාට. :-D

    ReplyDelete