Friday, August 31, 2018

මානව රුධිර වර්ගීකරණය දැනුවත්ද?

ඔබේ ලේ වර්ගය මොකක්ද?
A, B, AB, O ලෙසින් ඔබ පිලිතුරු දේවි. ඒ අස්සේ නෙගටිව් පොසිටිව් ත් කියවෙනවා නේද?
රුධිර වර්ගිකරණය ගැන හැකිතරම් සරලව කතා කරන්නයි මේ සුදානම.







මිනිසාට රුධිර වර්ග කොපමණක් තියෙනවාද?
අති විශාල ගණනක් තියෙනවා. අනන්තයට ආසන්න ප්‍රමාණයක් කියලා ඇතැම් පොත්වල සදහන්. මින් 35ක් පිලිබද හොදින්ම අධ්‍යනය කොට තිබේ. ඒ අතර ABO, රීසස්, MNS, ඩෆි, කෝල්ටන්, ක්නොප්ස්,  ගිල්, ඉන්දියන්, කිඩ්,පි,දියෙගෝ,චිඩෝ, ඔකේ, ක්‍රෝනර්, ලෙවිස්, ලුතරන්, කේල්,ජූනියර්,වේල්,රැල්ෆ් වැනි බ්ලඩ් ගෘප්ස් දැක්විය හැකියි.

මින් වඩා වැදගත් වන්නේ ABO හා රීසස් යන ගෘප්ස් දෙක.
ඇතැමෙක් සිතන්නේ ABO හා රිසස් එකක් කියලා. නැ! මේ දෙක පැහැදිලිවම වර්ගීකරණ දෙකක්.

ABO වර්ගීකරණය ලොවට හදුන්වා දෙන්නේ ඔස්ට්‍රියානු ජාතික කාල් ලැන්ඩ්ස්ටයිනර් මහතා විසින්. රුධිර පාරවිලයනයේ පියා ලෙස සැලකෙන ඔහු වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් මහත් සේවයක් කල, නොබෙල් සම්මානයෙන් පවා පිදුම්ලද ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්.


ලැන්ඩ්ස්ටයිනර්


රීසස් සාධකය පිලිබද තතු ඇලෙක්සැන්ඩර් වෙයිනර් විසින් කාල් ලැන්ඩ්ස්ටයිටර් මහතා සමග එක්ව ලොවට හෙලිදරව් කලා. රීසස් යන නාමය ලැබෙන්නේ රිසස් වදුරන් අනුසාරයෙන්.

ABO වර්ගීකරණය

ABO රුධිර වර්ගීකරණය සැලකුවොත්, ඒක වර්ගකිරිම රැදිලා තියෙන්නේ ප්‍රතිදේහ(ඇග්ලුටිනීන්) හා ප්‍රතිදේහජනක(ඇග්ලුටිනෝජන්) පිහිටිම මතයි.

රතු රුධිර සෛලයක් මත A හෝ/හා B ප්‍රතිදේහජනක පිහිටා තිබෙනවා. පිහිටිම නිර්ණය වෙන්නේ ප්‍රවේණිකවයි. ඊට අනුරුපව රුධිර ප්ලාස්මාවේ ඇල්ෆා හා බීටා නැතිනම් ප්‍රතිA, ප්‍රතිB යන ප්‍රතිදේහ හමුවෙනවා.

 ABO වර්ගීකරණය අනුව A, B, AB, O ලෙසින් රුධිරයන් 4ක් හමුවේ

  • A රුධිරය - රතු රුධිර සෛල මත A ප්‍රතිදේහ ජනකය හා රුධිර ප්ලාස්මාවේ බිටා ප්‍රතිදේහ ඇත.
  • B රුධිරය - රතු රුධිර සෛල මත B ප්‍රතිදේහ ජනකය හා රුධිර ප්ලාස්මාවේ ඇල්ෆා ප්‍රතිදේහ ඇත.
  • AB රුධිරය - රතු රුධිර සෛල මත A B ප්‍රතිදේහ ජනක දෙකම හා රුධිර ප්ලාස්මාවේ ‘‘ප්‍රතිදේහ නැ.‘‘
  • O රුධිරය - රතු රුධිර සෛල මත ප්‍රතිදේහ ජනකය ‘‘නැත‘‘ හා රුධිර ප්ලාස්මාවේ ඇල්ෆා හා බීටා ප්‍රතිදේහ ඇත. 


රුධිර පාරවිලයනයේදි සුදුසු රුධිරයන් ලබාදීම අනිවාර්යයයි. එසේ නොවුනහොත් මාරාන්තික තත්ත්ව ඇතිවිය හැකියි.

උදාහරණ ලෙස,

A රුධිරය, B රුධිරය ඇති කෙනෙක්ට ලබාදුන් අවස්ථාවක් සලකමු. එවිට B රුධිරය ඇති කෙනාගේ රුධිර ප්ලාස්මාවේ තියන ප්‍රතිඒ ප්‍රතිදේහ, ලබාදුන් A රුධිරයේ ඇති රතුරුධිර සෛල ඇති වල A ප්‍රතිදේහ ජනක සමග බැදෙන්න ගන්නවා. ප්‍රතිදේහජනක- ප්‍රතිදේහ සංකීර්ණ හැදිලා රුධිර සෛල බිද වැටෙන්න ගන්නවා. රුධිර නාල අවහිර වෙන්න ගන්නවා. ඔක්සිජන් පරිවහනය ව්‍යාකූල වෙනවා. ඉතාම අවාසනාවන්ත මෙන්ම ඉතාම භායානක තත්ත්වයක්.



මේ අතර ඉන්නවා විශේෂිත රුධිර දෙකක්. ඒ AB හා O.
AB සාර්ව ප්‍රතිග්‍රාහක රුධිර වර්ගය ලෙසත්, O සාර්ව දායක රුධිර වර්ගය ලෙසත් වැදගත්.


රීසස් වර්ගිකරණය
රීසස් එකත් පෙනුමෙන් ABO එකට සමාන වුනත් සැහෙන්න සංකීර්ණයි. ප්‍රතිදේහ ජනක ගණනාවකින් D Cc Ee ලෙස කිහිපයක් වෙන්කර ගෙන තිබුනත් එයිනුත් වඩාත් බහුල හා ඇක්ටිව් එක අනුව, රීසස් වල සලකන ප්‍රතිදේහ ජනකය වන්නේ D. 
රතු රුධිර සෛල වල එම ප්‍රතිදේහ ජනක වර්ගය තියනවානම් රීසස් ධන ලෙසත්, නැතිනම් රීසස් සෘණ ලෙසත් වර්ග කරනවා.

උදාහරණයක් ගමු. රිසස් සෘණ කෙනෙක්ට ධන රුධිරය දුන්නා කියලා. එතකොට ධන නිසා ඒ කියන්නේ රිසස් ප්‍රතිදේහජනක තියන නිසා සෘණ සිරුර හදුනගන්නවා මේ ප්‍රතිදේහජනකය. ප්‍රතිදේහ හදන්න උත්ප්‍රේරණයක් එනවා. ඔන්න සිරුර තුල ප්‍රතිදේහජනක- ප්‍රතිදේහ අතර සටනක්. ඕක භයානකයි. ඒ නිසා රිසස් ගැලපිම වැදගත්.

ඒ අනුව රීසස් වල තියෙන්නේ ධන හා සෘණ කියලා වර්ග දෙකක්.

ABO හා රීසස් කියන වර්ග දෙකම සැලකුවාම රුධිර 8ක් තියනවා.
  • A+, A -
  • B +, B-
  • AB +, AB-
  • O +, O-


මේ දෙක අනුවම,
  •  සාර්ව දායකයා නම් O -
  •  සාර්ව ප්‍රතිග්‍රාහකයා නම් AB+


රීසස් හා විවාහය


රිසස් නොගලපීම නිසා වන ගැටලුව ඇතිවෙන්නේ Rh- කාන්තාවක් හා Rh+ පිරිමියෙක් විවාහප්‍රප්ත උනොත් පමණයි. මේ දෙදෙනාගේ විවාහයෙන් පසුව පලමුව පිලිසිදගන්නා දරුවා Rh+ දරුවෙක් උනොත්, මේ ලමයා ප්‍රසූත වෙන වෙලාවේ කලලබන්ධය බිදි යන අවස්ථාවේ භ්‍රෑණයාගේ රුධිරය මවගේ රැධිරයට එක් වෙන්න පුලුවන්. අම්මාගේ රැධිරය Rh- නිසා Rh+ වන දරුවාගේ රැධිරයට විරුද්ධව ප්‍රති Rh ප්‍රතිදේහයක් හදනවා. දරුවාට කිසිම බලපැමක් නැ. ඒ ලමයා හොදින්..

සැ.යු
පලමුව පිලිසිදගන්නා දරුවා යැයි මා අදහස් කරන්නේ Rh+ වන පලමු දරු පිලිසිද ගැනිමයි. දෙමාපියන් සෘණ හා ධන බැවින් මුල් පිලිසිදගැනිම් Rh- විමේ හැකියාවද ඇත. එබැවින් Rh+ වූ පලමු දරු පිලිසිදගැනිම සලකන්න. එය දෙවැනි ලමයාද තෙවැනි ලමයාද n වැනි ලමයාද විය හැකියි. 

නමුත් Rh+ දරුවාට පසු තවත් දරුවෙක් පිලිසිදගත්ත වෙලාවේදි ඒ ලමයාත් ‘‘Rh+‘‘ උනොත් පෙර දරු ප්‍රසූතිය වෙලාවේ හැදිලා අම්මාගේ ඇගේ තිබ්බ ප්‍රති Rh ප්‍රතිදේහ, කලලබන්ධය හරහා ඇවිත් භ්‍රෑණයා වෙත පැමිණිලා භ්‍රෑණයාගේ රතු රුධිර සෛල විනාශ කරනවා. දරු ගැබට හානි වෙනවා.

බය වෙන්න එපා. 
මෙවැනි අවස්ථාවල ‘‘රෝගම්‘‘ කියන එන්නත ලබාදෙනවා. එවිට ඔය ප්‍රතිදේහ හැදිලා නටන අලකලංචිය නවත්තගන්න පුලුවන්. මෙසේ රීසස් ගණ අතර නොගැලපිමක් තියනානම් වෛද්‍යවරයකු හමුවෙලා ඒ ගැන දැනුවත් කරලා ඉදිරි පියවර ගන්න අමතක කරන්න එපා. අන්තිම මොහොත වෙනකං ඉන්න එපා.

වෛද්‍ය විද්‍යාව නොදියුණු සමයේ මේ ගැටලුව බහුුලව පැවතුනත්, දැන් නම් බය වෙන්න දෙයක් නැ. නමුත් ඔයාලා දැනුවත් වීම ඉතා වැදගත් නේ.


- රොෂින් ප්‍රනාන්දු 

5 comments:

  1. බොම්බේ O කියල වර්ගයක් තියනවද .... යාලුවේ

    ReplyDelete
    Replies
    1. බොම්බේ කිත්තං කියලා එකක් තියේනවා.

      Delete
    2. ඔව් අටම්පහුරේ..
      hh (oh) වර්ගය ලෙස හදුන්වන මෙය දුර්ලබයි.
      50 දශකයේදි ඉන්දියාවේ බොම්බේ(දැන් මුම්බායි) වලින් මුලින්ම වාර්තා වුන නිසා එය බොම්බේ කියා හදුන්වනවා.
      H කියලා විශේෂ ප්‍රතිදේහජනකයක් මෙහෙිදි පිහිටනවා. H කියන්නේ මුලික පුර්වජ ප්‍රතිදේහ ජනකයක් ලෙස සලකනවා.

      සරලවම බැලුවොත් ABO එක්ක සැලකුවාම, බොම්බේ ලේ තියන කෙනෙක්ට අනිත් අයට ලේ දෙන්න පුලුවන් උනත්,ලේ ගන්න පුලුවන් බොම්බේ ලේ පමනයි.

      Delete
  2. සොයා ගැනීමට අමාරුම ලේ වර්ගය මොක්කද?

    ReplyDelete