Wednesday, April 26, 2017

සෙබලුන්ගේ තුවාල සුවකල මඩ වළේ දෙව්දුව

ඇමරිකානු සිවිල්  යුද්ධයේ ඇතිවූ දරුණු සටනකින්  තුවාල ලැබූ සෙබලුන්ගේ තුවාල, මඩ වළවල් වල සිටි දෙව්දුවක් විසින් සුවපත් කල සිද්ධියක් ගැනයි මේ ලිපිය දිගහැරෙනනේ.



ක්‍රිව 1862 දී ඇමරිකාවේ ටෙනිසි හීදි සිදුවුනු  ශයිලෝ සටන  (Battle of Shiloh) බටහිර සටන් භූමිය තුල සිදුවු ප්‍රධානතම සටනක්. තදින් ලේ සෙලවුනු සටනක්. සටනේ දරුණු තත්ත්වය හේතුකොට ගෙන, තුවාල ලත් සෙබලුන්ට උපකාර කරන්නවත් අවස්ථාවක් ලැබුනේ නැ. ප්‍රමාණවත් තරම් වෛද්‍ය ප්‍රතිකාර කරන්නට පිරිසක් හිටියෙත් නැ. 

සටන පැවැත්වුන භූමිය තෙත් වගුරු ප්‍රදේශයක්. තුවාල ලත් සෙබලුන් වැටි සිටියේ මඩ සහිත පොලව මතයි. වාර්තා වලට අනුව උපකාරක සේවා පැමිණෙන තෙක් සෙබලුන් පැය ගනනාවක් මඩෙහි වැටි සිට තිබෙනවා.

තත්ත්පර මිනිත්තු වුනා. මිනිත්තු පැය වලට හැරුනා. පැය දවස් බවට හැරුනා. 

කිසිදු හව්වරණක් නැතුව  මඩ වලේ වැටි සිටි තුවාල ලත් සෙබලුන්ගේ තුවාල, එක්වරම කිසිදු ප්‍රතිකාරයකින් තොරව වේගයෙන් සුව වෙන්නට ගත්තා. විශේෂයෙන්ම රාත්‍රියේදි සෙබලුන්ගේ තුවාල දිලිසෙන්නට ගත්තා.  දින දෙකක් පමණ ඇතුලත සියලුම සෙබලුන්ගේ තුවාල සුවපත් වූ බව වාර්තා වල සදහන් වෙනවා.

සටන් බිමේ සිටි සියල්ලන්ම මෙම ප්‍රාතිහාරයෙන් පුදුමයට පත්වුනා. කොහොමද මෙහෙම සෙබලුන් සුවපත් වුනේ. එවක වෛද්‍යවරුන්ටවත් නිසි පැහැදිලි කිරිමක් තිබුනේ නැ. හැමෝම හිතුවේ සෙබලුන්ගේ දුක දැකලා දෙවියන් විසින් සිදුකල ප්‍රාතිහාරයක් ලෙසයි. මෙම පුදුමය ‘‘Angel's Glow‘‘ ලෙස ප්‍රසිද්ධියට පත්වුනා.

වසර 100 කටත් පෙර සිද්ධ වුන ශයිලෝ සටනේ Angel's Glow පුදුමයට හේතුව සොයාගන්නට 2001 වසරේදි පාසල් සිසුන් දෙදෙනෙකුට හැකිවුනා.



එවකට 17 හා 18 වියෙහි පසුවු විලියම් මාටින් හා ජොනතන් කර්ටිස් නම් සිසුන් දෙදෙනා විසින් Angel's Glow පුදුමය තම පාසල් ව්‍යාපෘතිය ලෙස තෝරාගෙන තිබුනා. ක්ෂුද්‍රජිව විද්‍යාඥවරියක් වූ මර්ටින් ගේ මවගේ උපකාර සහිතව එදා සටන් බිමේ සෙබලුන්ගේ තුවාල සුවපත් වූ ආකාරය පැහැදිලි කරන්නට ඔවුන් සමත් වුනා.

සටන් බිමේ සෙබලුන් සුවපත් කල දෙව්දුව තමයි,
Photorhabdus luminescens
බැක්ටිරියාව සහිත නෙමටෝඩාවන්

Photorhabdus luminescens යනු බැක්ටිරියාවක්. මෙම බැක්ටිරියාව නෙමටෝඩාවන් ගේ  සිරුර තුල ජිවත් වෙනවා. Photorhabdus luminescens කියන්නේ කෘමින්ගේ මාරයා කිව්වොත් නිවැරදියි. මොකද මෙම බැක්ටිරියා මගින් කෘමින්ට මාරක වන රෝගකාරක ඇතිකරනවා. ඉතින් නෙමටෝඩාවන් විසින් Photorhabdus luminescens යොදාගෙන කෘමින් මරලා, ඒවා ආහාරයට ගන්නවා. Photorhabdus luminescens හට කෘමින් විතරක් නෙවෙයි වෙනත් බැක්ටිරියා නාශන කරන්නත් පුලුවන්.  



සිසුන් විසින් කරුනු දක්වන ආකාරයට එදා සටන් භූමියේ මඩ වළවල් වලත් luminescens බැක්ටිරියා සහිත නෙමටෝඩාවන් ඉදලා තියෙනවා. සෙබලුන්ගේ තුවාල මතට මෙම බැක්ටිරියා පැමිණ තිබෙනවා. luminescens   බැක්ටිරියා ක්‍රියාකාරිත්වය නිසා, තුවාල මත හානිදායක බැක්ටිරියා ක්‍රියාකාරිත්වය අඩපණ වෙලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි ඉක්මනට තුවාල හොද වෙලා තියෙන්නේ.

සෙබලුන්ගේ තුවාල රෑට දිලිසුනේ කොහොමද?
Photorhabdus luminescens තුල සිදුවන  ජෛවීය ක්‍රියාහේතුවෙන් ශරිරයෙන් එලියක් පිටවෙනවා. මෙය bioluminescence  (ජෛව සන්දීප්තිය) ලෙස ද හදුන්වනවා. Photorhabdus luminescens පැතිරුන තුවාල  දිලිසුනේ මේ හේතුව නිසායි.

2001 සිසු නිගමනය තවමත් 100%ම පිලිගෙන නැතත්, බොහෝ විද්‍යාඥයින් විසින් මෙම මතය පිලිගන්නවා.

දැක්කානේ චූටි බැක්ටිරියාවකගේ වැඩ....


- රොෂීන් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය

සබැදි ලිපි


වෛද්‍ය විද්‍යාව හා සැගවුණු ඉතිහාසය සම්බන්ද බොහෝ ලිපි, බ්ලොග් අඩවියේ දකුණු පස පිහිටි ලේබල වෙත  පිවිසිමෙන් කියවන්නට පුලුවන්.

 

No comments:

Post a Comment