Friday, April 28, 2017

ලෝක යුද්ධ, කොරියානු යුද්ධ සටන් කල ''සිලෝන්" (Ceylon)

‘‘සිලෝන්‘‘  අපේ පුංචි දූපතට කියපු නමක් නේ. 
ඔයාලා දන්නවාද සිලෝන් (Ceylon) නමින් රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවක් තිබුනා කියලා.   ලෝක යුද්ධ වලට වගේම කොරියානු යුද්ධය, ඊජිප්තු අර්බුදය යන සටන් සදහාත් දායක වුනා.





HMS Ceylon නෞකාව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ Crown Colony පන්තියට අයත් නෞකාවක්. බ්‍රිතාන්‍ය යටත් විජිත වල නාමයන් තැබු නෞකා වලින් තමයි Crown Colony පන්තිය සමන්විත වුනේ.  Crown Colony පන්තියට අයත් නෞකා 11ක් තිබුනා. Crown Colony පන්තිය තුල Ceylon නමින් උපපන්තියක්ද තිබුනා.  Ceylon උපපන්තියට HMS Ceylon නෞකාවද ඇතුලුව නෞකා 3ක් අැතුලත් වුනා.

දිගින් මීටර් 169.3ක් වූ නෞකාව නොට් 33ක වේගයකින් යුක්තයි. මුහුදු ගුවන් යානා 2ක් රැගෙන යාමේ හැකියාවකින්ද යුක්තයි. 




ක්‍රි.ව 1939 වසරේදි වැඩ අරබන,  1943 වසරේදි රාජකීය නාවික හමුදාවට එක්වන HMS Ceylon නෞකාව තම පලමු රාජකාරිය ලෙස එංගලන්තයට අයත් මුහුදු සීමාවේ සේවයේ යොදවනවා. එංගලන්ත මුහුදේ කෙටිකාලින සේවයකින් පසුව HMS Ceylon නෞකාව, පෙරදිග නෞකා බලඇණියේ සේවයට එක්කරනවා. 

සේවයේ නියුතු නැවියන්

ඒ අනුව HMS Ceylon නෞකාව ඉන්දියන් සාගරයට පැමිණෙනවා. ඒ වන විට සිංගප්පුරුව ජපානය විසින් යටත්කරගෙන තිබු බැවින්, පෙරදිග නෞකා බලඇණියේ මූලස්ථානය පිහිටියේ ලංකාවේ ත්‍රීකුණාමලයේය. 

පෙරදිග නෞකා බලැඇණිය තුල රැදෙමින් HMS Ceylon නෞකාව  Operations Cockpit, Meridian හා  Diplomat වැනි මෙහෙයුම් සදහා දායක වුනා. ඉන්දියන් සාගරයෙන් ඔබ්බට ගොස් පැසිෆික් සාගරයේ සටන් සදහාද දායක වූ HMS Ceylon යුද්ධයේ අවසන් භාගයේදි නැවත ඉන්දියන් සාගරයට පැමිණියා.  යුද්ධය අවසන් විමෙන් පසු 1945 නැවත HMS Ceylon  මව්රට බලා ගමන් කරනවා.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු HMS Ceylon නෞකාව 1950-53 සමයේ පැවැති කොරියානු යුද්ධයට ක්‍රියාකාරිව දායකවනවා. එමෙන්ම 1956 වසරේදි ඊජිප්තු කලාපයේ ඇතිවු සටන් වලදිද සටන් වදිනවා. 

ක්‍රි.ව 1959 වසරේදි HMS Ceylon  නෞකාව පේරු රටට අලෙවි කරනවා. 1960 වසරේදි පෙරු නාවික හමුදාවට එක්වන  නෞකාව එතැන් පටන් හදුන්වන්නේ Coronel Bolognesi නෞකාව ලෙසයි.

වසර 12ක් පමණ පේරු නාවික හමුදාවේ සේවය කරන  Coronel Bolognesi ( HMS Ceylon ) නෞකාව 1982 වසරේදි සේවය අවසන් කරනවා. 1985 දී තායිවානයේදී යකඩ කපන්නන් අතින්  නෞකාවේ අවසන් ඉරණම ලියවෙනවා.

මෙම HMS Ceylon නෞකාවට අමතරව 1808- 1861 සමයේදි මෙනමින්ම නෞකාවක් තිබූ බවට සදහන් වෙනවා.  


ප්‍රංශය සමග සටනක් අතරතුර

කාලතුවක්කු 38ක් සහිත තේක්ක ලීයෙන් සෑදු රුවල් නැවක් වූ එය 1793 වසරේදි පෙරදිග ඉන්දිය වෙලද සමාගම අයත් නෞකාවක් ලෙස සේවය අරබා තිබෙනවා. පසුව 1805 වසරේදි රාජකීය නාවික හමුදාව විසින් මිලදිගෙන ඇති අතර 1808 දී HMS Ceylon ලෙස නම වෙනස් කර තිබෙනවා. වසර ගනනාවක් සක්‍රිය සේවයේ යෙදි ඇති නෞකාව 1861 වසරේදි කැබැලි කර තිබෙනවා.



No comments:

Post a Comment