Sunday, August 7, 2016

බලා ඉදිද්දි පොලවෙන් මතු වූ ගිනි කන්ද‍

ඔයාලා බලා ඉදිද්දි ඔයාලාගේ ගමේ පොලවෙන් ගිනිකන්දක් මතු වෙලා, ඒක පුපුරලා යනවා දැක්කොත් මොකද හිතනේනේ??? ඒක හිතාගන්නවත් බැරි අත්දැකිමක් නේද?

එවැනි අත්දැකිමක් දශක කිහිපයකට කලින් මෙක්සිකෝවේ ගමක වැසියන්ට අත්විදින්න සිදුවුනා. අද ලිපිය ඒ ගැනයි.




මෙක්සිකෝවේ පැරකියුටින් නම් කුඩා ගම්මානය පිහිටා අැත්තේ, මෙක්සිකෝවේ අග නුවර වන මෙක්සිකෝ සිටි නගරයේ සිට සැතපුම් 200ක් පමණ බටහිර දෙසට වන්නටයි.  ගම්මානය පවතින්නේ, මිචුචාකාන් - ගොනජුආටෝ යමහල් සක්‍රිය ප්‍රදේශය මතයි.

පුලිඩෝ

ගම්වැසියකු වු  ‘‘ඩියනියස් පුලිඩෝ‘‘ ගේ රක්ෂාව වූයේ බඩඉරිගු ගොවිතැනයි. 1943  පෙබරවාරි 20 වැනි දින පුලිඩෝ විසින් සුපුරුදු පරිදි බිරිද  හේනට ගොස් තිබු අතර, එහිදි ඔහුගේ නෙත ගැටුනේ තමාව අයත් භූමියේ පැල්මක් සිදුව ඇති බවයි. පුලිඩෝ පවසන ආකාරයට, මෙම පැල්ම මිටර් බාගයක් පමණ වන්නට ඇත. පැල්මෙන් බිත්තර කුණු ගද දැනි ඇත. බිත්තර කුනු ගද යනු සල්ෆර් ඩයොක්සයිඩ් වල ආවේණික ගන්ධයයි. 

පුලිඩෝ හා ගිනි කන්ද


පුලිඩෝ බලා සිටියදිම මෙම පැල්ම  මිටර් 2 කින් පමණ ඉහලට මතු වන්නට විය.  එමෙන්ම පැල්මෙන් දුම් හා අලු පිටවන්නටද විය. පුලිඩෝ බලා සිටියදිම පැය 24 තුල  කන්ද මිටර් 50කින් ඉහලට මතුවන්නට විය.





 දැස් ඉදිරිපිටිම සිදුවන මේ අරුමය කෙසේ තේරුම් ගන්නද? සතියක් ගත වූ තැන, ගිනි කන්ද අඩි 450කින් පමණ උසින්  යුක්ත වූ අතර, මාස දෙකක් තුල  ගිනි කන්ද අඩි 1000 සිමාවද පසු කරන්නට විය.



පැරකියුටින් ගිනිකදු විදාරණය 1943 සිට 1952 දක්වා පැවතිනි. මෙම කාලය තුල ගිනිකන්ද විදාරණය වෙමින් පැවතිනි.  තමා බිහිවු පැරකියුටින් ගම්මානය මෙන්ම සැන් ජුවාන් පැරන්ගාරිකියුටින් යන ගම් ගිලගනිමින් ඇරබි ලාවා ගැලිම් අවසන අසල තිබු ගම්මාන ගනනාවක් ගිලගැනිමට සමත් විය. ගිනිකන්දෙන් නිකුත් වු අළු, අගනුවර වූ මෙක්සිකෝ සිටි නගරයටද පතිත වූ බව සදහන් වේ. එමෙන්ම ගිනිකන්ද නිසා අති විශාල වගාභූමි හා වනාන්තර ප්‍රමාණයක්ද විනාශයට ලක්විය.




පැරකියුටින් ගිනි කන්දේ ලාවා, වර්ග සැතපුම්   10 පමණ ආවරණය කල අතර, එහි අළු වර්ග සැතපුම් 20ක ප්‍රදේශයක පැතිර ගොස් ඇත.   

මෙවැනි ගිනිකදු නිර්මාණයක් භූගෝල විද්‍යාඥයින්ට ලැබුනු කදිම අවස්ථාවකි. ලොව පුරා නන්දෙසින් පැමිණි  විද්‍යාඥයින් පැරකියුටින් ගිනි කන්ද පිලිබද පරික්ෂණ සිදුකරන්නට විය. වසර දහස් ගනනක් ගතවන ක්‍රියාවලියක්  වන  ගිනිකන්දක් නිර්මාණය විම, එහි සක්‍රිය කාලය හා එය නිෂ්ක්‍රිය විම ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන්නට  පැරකියුටින් ගිනිකන්ද නිසා අවස්ථාව ලැබිනි.

දැස් ඉදිරිපිට නිර්මාණය වි, කෙටිකලක් තුල  විශාල විනාශයක් සිදුකල පැරකියුටින් ගිනිකන්ද  1952 වසරේ සිට අක්‍රිය තත්ත්වයට පත්ව ඇත.  

- රොෂින්  ප්‍රනාන්දු


       



           

No comments:

Post a Comment