Tuesday, August 9, 2016

ලතා මංගේෂ්කර් ගැයු එකම සිංහල ගීතය

ඉන්දියාවේ ගීත කෝකිලාවිය ලෙස හැදින්වෙන ලතා මංගේෂකර් විසින්  සිංහල චිත්‍රපටයක් වෙනුවෙන් ගිතයක් ගායනා කර ඇති බව ඔබ දන්නවාද?  
අද ලිපිය ඒ ගැනයි.






  

1955 වසරේ තිරගත වු ‘‘ සැඩසුළං‘‘ චිත්‍රපටය නිෂ්පාදනය මෙන්ම අධ්‍යක්ෂණයද සිදුකරන ලද්දේ තම්බිරාජා සෝමසේකරන් (T.සෝමසේකරන්) විසිනි. සෝමසේකරන් යනු සිංහල චිත්‍රපට අධ්‍යක්ෂනයට පිවිසි පලමු ශ්‍රි ලාංකිය දෙමල ජාතිකයා වේ. සෝමසේකරන්, සිංහල චිත්‍රපටය ජනයා අතරට ගෙන යාමට මහත් උත්සහයක් ගත් පුද්ගලයෙකු ලෙස හැදින්විම වරදක් නොවේ.

සෝමසේකරන් විසින් සැඩසුළං චිත්‍රපටය නිර්මාණය කිරිම සදහා මදුරාසියේ වාහිනි චිත්‍රාගාරයේ උපකාරය ලබා ගන්නා ලදි. සංගිත සංයෝජනය එස් දක්ෂිණමූර්ති විසින් සිදුකල අතර, ගීත ප්‍රබන්ධනයට මෙන්ම තනු නිර්මාණයට ආනන්ද සමරකෝන් මහතා දායක විය. ඩි.ටි ප්‍රනාන්දු මහතා විසින්ද ගීත කිහිපයක් ප්‍රබන්ද කර ඇත.
   
චිත්‍රපටයේ ආරම්භක දර්ශනයක්. මෙහි සිටිනුයේ දයා අබේසේකර
හා පත්මිනි දහනායක යන ලමා නලුනිලියන්ය. 


ෆ්ලොරිඩා ජයලත් සිතා ලෙසත්, ඩේවිඩ් ධර්මකිර්ති පර්සි පලිපාන ලෙසත්,ප්‍රේම් ජයන්ත් සුනිල් ලෙසත් රංගනයෙන් දායක විය.

ආනන්ද සමරකෝන් ශූරින්


සෝමසේකරන් ප්‍රචාරක උපක්‍රම යෙදිමෙහි දක්ෂයෙක් විය. ඔහු නිතරම අලුත් දෙයක් සිදුකිරිමට උත්සහා ගති. සුජාතා චිත්‍රපටයේ නිෂ්පාදනයට දායක විමේන් සිදුකල වෙනස්කම් නිසා පෙරදි ඔහුගේ ව්‍යාපාරික ඥානය පෙන්වා තිබිනි. මෙවර සෝමසේකරන්ට අවැසි වූයේ එවකට ඉන්දියාවේ කැපි පෙනෙන චරිතයක් වූ ලතා මංගේෂ්කර් ගායිකාව ලවා සිංහල ගීතයක් ගායනා කරවා ගැනිමටයි.

ඒ අනුව ආනන්ද සමරකෝන් මහතාගේ පද රචනයෙන් හා තනු නිර්මාණයෙන්, එස්.දක්ෂිණමුර්ති මහතාගේ සංගීත සංයෝජනයෙන් හා ලතා මංගේෂ්කර් මැතිණියගේ හඩින් ‘‘මා ප්‍රියාදර ජය භූමි‘‘ ගීතය බිහිවිය.

ගීතය කොටස් දෙකකින් යුතු වූ අතර, මුල් කොටස වූ ‘‘මා ප්‍රියාදර ජය භූමි‘‘ ගීතය ආනන්ද සමරකෝන් මහතාගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වුවත්, මොහිදින් බෙග් හා ලතා මංගේෂ්කර් එක්ව ගයන ‘‘ඉදිරියටා යමු සැවොමා‘‘ ගීතය  හම් ලෝග් චිත්‍රපටයේ ‘‘ගයේ චලා ජා‘‘ ගිතයේ අනුකරණයකි.

ගීතය සාර්ථක ලෙස පටිගත කිරීමෙන් පසුව,  ලතා මංගේෂ්කර විසින් තමාට ගීතය වෙනුවෙන් ලද මුදල, ආනන්ද සමරකෝන් මහතාට පරිත්‍යාග කර ඇත්තේ ගුරු පඩුරු ලෙස යැයි පවසමිනි.

මෙවැනි සංකිර්ණ ගීතයක් නිර්මාණය කර, එය තමාට උගන්වා,පුහුණුකිරිම හේතුවෙන් මෙසේ ගුරුපඩුරු පිරිනැමීමක් ලතා විසින් සිදුකර ඇත.

ගීතයේ පද මෙසේය.

-පලමු කොටස- 
(ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමී
ජය භූමී - ජය භූමී - ශ්‍රී ලංකා)
සිරි දැරු හෙළ­දිව පුරාතනේ
ජයකොඩි නැංවූ වීර විකුමැති මා
රම්‍ය දරුවනේ
කෝ අනේ - අද දිනේ
කිම උනේද දරුවනි අහො
නෑ පෙනෙන්ට කිසි තැනේ
කොහි ගියේ ද මා දමා
පෙම්බර මා පැටවුනේ

ලකඹර ජය කෙහෙළි නඟා
සැමට සුසිරි සෙත සදා
කර ශ්‍රී සෞභාග්‍ය ළඟා
ගියෙ ඇයි මා දුකෙහි දා
කෝ අනේ.... 

දන අද දුකඳුරෙහි ගිලී
ඇයි මේ ලෙස දිළිඳු වී
ඇසැර බලව් හිඳ අව­දිව
ලක යයි පිරිහී
සැහැසි ක්‍රියා නිතර කෙරෙතී
දුසිරිතටම ඇදි ඇදී
නොඉඳ මෙ මර නින්දේ අද
එනු එනු පිබිදී

-දෙවැනි කොටස-
ඉදිරියටා යමු සැවොමා
නිදහස ලබනට බැමි සිඳ දා

තවත් වහල්ව ඉන්නෙ නෑ
මෙදුක් විඳින්නෙ නෑ සදා
යමවු යමවු සිත් සතොසින්
විමුක්ති ශාන්ති වෙයි උදා

මෙ ලංකාදීපයේ සුරම්‍ය
දූ පුතුන් අපියි උතුම්
විනීත වූ ගුණාංග ලෝකේ
සාමයයි අපේ විකුම්
මෙ දේ ගැනයි අපේ සටන්
අපේ අවී උතුම් දහම්

අපේ මෙ ජීවිතේ මෙ ලෝ
බොහෝ උදාර වස්තුවයි
හොඳින් ගෙවා නැසී ගියොත්
නිගා ලබන්නේ නෑ සුබයි
එසේ හෙයින් මෙ ජීවි­තෙන්
ලබන්ට නම් ප්‍රයෝජනේ
පුදන්ට ඕනෑ ජීවිතේ
විමුක්ති වීමටා සැණේ


ලතා මංගේෂ්කර් ගේ හඩින් මුල් ගායනය 


මෙම ගීතයට අමතරව අදටත් ජනප්‍රිය ගීත වන  පෙම් කැකුල පිපි, ජීවන මේ ගමන සංසාරේ යන ගීතද සැඩසුළං චිත්‍රපටයට අන්තර්ගත විය. මෙතෙක් වැඩිම ගීත සංඛ්‍යාවක් අැතුලත් වූ සිංහල චිත්‍රපටය වන්නේද සැඩසුළං චිත්‍රපටයයි.

- රොෂින් ප්‍රනාන්දු


No comments:

Post a Comment