Saturday, July 14, 2018

වංචාවෙන් දිනන්න හැදූ ඔලිම්පික් කඩුහරඹය!

ඔබ දන්නවාද, ඔලිම්පික් මහා ක්‍රිඩා උළෙලකදි වංචාවක් සිදුකර කඩුහරඹ තරග ඉසව්ව ජයගන්න දැරූ උත්සහයක් ගත් තැනැත්තෙක් ගැන.
මේ ලිපිය දිගහැරෙන්නේ ඒ වංචනික උත්සහය පිලිබදවයි.





බොරිස් ඔනිෂෙන්කෝ 1976 කැනඩාවේ මොන්ට්‍රියල් ඔලිම්පික් තරගාවලියට එක් වන්නේ සෝවියට් සමූහාණ්ඩුවේ නූතන පංචප්‍රයාම කණ්ඩායමේ සාමාජියකු ලෙසිනි.  නූතන පංචප්‍රයාමහෙයි  දක්ෂ ක්‍රීඩකයකු ලෙස නම් දරා සිටි ඔනිෂෙන්කෝ, 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේදි කන්ඩායම් රිදි පදක්කමක්ද 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ කණ්ඩායම් රන් පදක්කමක්ද කේවර රිදි පදක්කමක්ද දිනා සෝවියට් දේශය රනින් හා රිදියෙන් සැරසූ ක්‍රිඩකයෙකි.



නූතන පංච ප්‍රයාම (Modern Pentathlon) ක්‍රීඩාවේදි තරගකරුවන් පිහිනීම, දිවිම, අසු පැදවීම, ඉලක්කයට වෙඩි තැබිම හා කඩු හරඹ යන ඉසව්  සදහ තරගවැදිය යුතුය.


1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ පංචප්‍රයාමයට අදාල කඩුහරඹ (Fencing)  ඉසව්ව මොන්ට්‍රියල් විශ්විද්‍යාල ක්‍රිඩාගාරයේදි පැවැත්විණ.  එහිදි බොරිස් පලමුව තරග වැදුනේ බ්‍රිතාන්‍ය ක්‍රීඩක ඒඩ්‍රියන් පාකර්ට එදිරිව තරග වැදින. තරගයේදි සැවොම පුදුම කරවමින් බොරිස්ගේ කඩුව, බ්‍රිතාන්‍ය ක්‍රිඩකයාගේ ඇගේ ස්පර්ශ විමකින් තොරව වුවද විද්‍යුත් පුවරුවල කඩුපහර වැදුනු බවට සටහන් වන්නට විය. බොහෝ දෙනා මුල් අවස්ථාවේ මෙය යන්ත්‍ර වල ක්‍රියාකාරිත්වයේ ගැටලුවක් බව සිතාගති.

බොරිස් හා ෆොක්ස්
ඉන්පසු බොරිස් බ්‍රිතාන්‍යයේම ජිම් ෆෝක්ස් ට එදිරිව තරග වැදිනි. නැවතත් පෙර අත්දැකීමමය. ෆොක්ස් ගේ සිරුරේ බොරිස්ගේ කඩු තුඩ ස්පර්ශයකින් තොරවම නැවතත් පහර වැදුන බව විද්‍යූත් සංවේදක දැල්වින. මෙය කීප වරක්ම තරගය අතරතුරදි සිදුවිය.

බ්‍රිතාන්‍ය කණ්ඩායම විසින් තරගයේ විනිසුරු මඩුල්ලට මේ පිලිබදව පැමිණිලි කල අතර බොරිස්ගේ කඩුව ගෙන පරික්ෂා කිරිමේදි එහි මිට තුල සගවා තිබු විද්‍යූත් පරිපථ ඇටවුමක් සොයාගන්නා ලදි. පරිපථයට සම්බන්ද බොත්තමක් තද කිරිමෙන්, කිසිදු ස්පර්ශයකින් තොරව උවද ප්‍රතිවාදියට කඩුපහර වැදුනු බවට වන සංවේදක ක්‍රියාත්මක වන ලෙස සකසා තිබිණි.


එවක මාධ්‍ය සිදුවීම වාර්ථා කල අයුරු


‍බොරිස් වහාම තරගයෙන් ඉවත් කරන ලදි. ඔහු සමස්ථ සෝවියට් ඔලිම්පික් නියෝජනයටම අපකීර්තියක් ගෙන දුන්නේය. ඔහු කෙරෙහි කිපුණු සෝවියට් වොලිබෝල් කණ්ඩායම , ඔලිම්පික් ගම්මානයේදි පහරදි ජනේලයෙන් විසිකිරිමට ද උත්සහ දරා ඇත.

නැවත සිය රට බලාගමන් කල ඔහුට නන් දෙසින් බැනුම් හා තාඩන පීඩන එල්ල විය. එවක සෝවියට් නායක ලියොනිද් බ්‍රේජ්නියෙව් විසින් බොරිස් පෞද්ගලිකවම කැදවා බැනවැදි ඇතිබවටද වාර්ථා විය. අවසානයේ සේවයෙන්ද පහකරනු ලැබු බොරිස්ගේ ක්‍රිඩා දිවිය ට සදහටම තිත තැබිණ. 

මේ ඔලිම්පික් ක්‍රිඩා ඉතිහාසයේ එක් වංචා ප්‍රයාමයක් පමණි.
තවත් කතා ඉදිරියේදි!!!

- රොෂින් ප්‍රනාන්දු

2 comments:

  1. වංචාවට රට,පළාත,කරන දේ අදාල වෙන්නේ නෑ.මේ ලිපිය ඒකට හොද නිදසුනක්.
    ස්තුත්යි අපිව දැනුවත් කරාට.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම වස්තු කතා!

      Delete