Tuesday, July 10, 2018

යුගොස්ලාවියාව ලෝක සිතියමෙන් මැකීයෑම

FIFA පාපන්දු කුසලානයේ අවසන් අදියරට එලැබිලා. 
ක්‍රොඒෂියාව අවසන් පූර්ව තරගයට පැමිණිලා.
 ඔවුන්ගේ යාබද රටක් වන සර්බියාවත් තරගාවලියට එක්ව හිටියා.
ඉතින් මේ අල්ලපනල්ලේ මට හිතුනා,
කලක් ලොව වැජබුණු යුගෝස්ලාවියාව ගැන කතා කරන්න.
යුගොස්ලාවියාව බෙදුන හැටි ගැන කතාරන්න.




බෝල්කන් අර්ධද්වීප ලෝක සිතියමේ දේශාපාලනික මර්මස්ථානයක් ලෙස හැදින්විය හැක. යුගොස්ලාවියාවේ අංකුර ඉතිහාසයේ අවස්ථා ගනනාවකදිම අපට හමුවුවද, අපට හුරු පුරුදු යුගෝස්ලාවියාව ලෝක සිතියමේ ඉඩක් ගන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය.



දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමත් සමග ජනරජ සයක් එක්වීමෙන් යුගොස්ලාවියා ෆෙඩරල් සමාජවාදි සමූහාණ්ඩුව සැදෙනවා.

 එම ජනරජ සය නම්,


  • සර්බියාව‍
  • ක්‍රොඒශියාව
  • බොස්නියා හා හර්සගොවිනා
  • මැසඩෝනියා
  • ස්ලොවෙනියා
  • මොන්ටිනිග්‍රෝ



සර්බියාව තුල ස්වයංපාලන ප්‍රදේශ දෙකක් වන කොසෝවෝ හා වොයෙවොඩිනා ද පැවතුනා.

යුගොස්ලාවියාවේ ජනරජ දෙස බැලිමේදි විවිධ ජාතින්, විවිධ ආගම්, විවිධ භාෂා සංස්කෘතින් සහිත මිශ්‍රණයක් දක්නට ලැබෙනවා. මෙවැනි සමූහයක් පාලනය කිරිම පහසු වන්නේ නැත.

ටිටෝ
යුගොස්ලාවියාගේ පාලකයා වුනේ සර්වාධිකාරි පාලනයක් ගෙනගිය මාෂල් ජෝෂප් ටිටෝ ය. කොමියුනිස්ට් ලීගය ( League of Communists of Yugoslavia) යුගොස්ලාවියාවේ පැවැති එකම පක්ෂය වන අතර එහි පෙර සදහන් කල ජනරජ සයේ ශාඛා හා ස්වයංපාලන ප්‍රදේශ වල  නියෝජනයක් දක්නට ලැබුනා. ලීගය යුගෝස්ලාවියාව එකමුතු කර තබාගන්නා එකමුතුවක් ලෙස හැදින්විම වරදක් නැත.

යුගොස්ලාවියාවේ ජනවර්ග එකමුතුබව හා සහෝදරත්වය යන තේමාව යටතේ එකට බැද තබාගන්නට මාශල් ටිටෝ හට හැකියාව ලැබෙනවා. සීත යුද්ධය පැවැති මෙසමයේ සෝවියට් දේශය මෙන්ම ඇමරිකාව සමගද සහයෝගයෙන් කටයුතු කරමින් රට දියුණු කිරිමට ඔහු පියවර ගන්නවා. ඔහුගේ මෙම නොබැදි ප්‍රතිපත්තිය නිසා යුගොස්ලාවියාවේ  ආර්ථික හා දේශපාලනික ස්ථාරබවක් පෙන්නුම් කරනවා. යුගොස්ලාවියාව නොබැදි ජාතින්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් බවද සදහන් කල යුතුමය.

මෙසේ යම් ස්ථාවර මාර්ගයක ගමන් කල යුගොස්ලාවියාව තුල ආර්බුධ ඇතිවෙන්නේ 1980 දී ටිටෝ ගේ මියයැමත් සමගයි. කෙමෙන් ආර්ථිකය පරිහානියට පත්වෙමින් කොමියුනිස්ට් අදහස් යටපත් වෙමින්, ටිටෝ ගේ ශක්තිමත් හස්තයෙන් බැද තබාගත් යුගොස්ලාවියාව අයාලේ යෑම අැරඹනවා.



සර්බියා හා මිලෝසෙවිච්

ඉදිරි කතාන්දරය පුරාවටම ඔබට නිතර හමුවන වැදගත් නමක් ඇත.
එය නම්,
ස්ලොබොදාන් මිලෝසෙවිච්


පෙර සදහන් කල පරිදි සර්බියාව තුල කොසෝවෝ හා වොයවොඩිනා ලෙස ස්වයංපාලන ප්‍රදේශ ඇති අතර මින් කොසෝවෝ හි ඇල්බෙනියානුවන් හා සර්බියානුවන් අතර ගැටුම් ඇතිවෙනවා. මේ අවස්ථාවේදි සර්බියානු කොමියුනිට්ස් ලීගය විසින් මේ ගැන සොයාබැලීම සදහා මිලෝසෙවිච් ව පිටත් කරනවා. මිලොසෙවිච් කොසෝවෝ හිදි හැසිරෙන්නේ ගැටලුව විසදිමටත් වඩා කොසෝවෝව සර්බියාව යටතේ බැද තබා ගැනිමටයි. කෙසේ හෝ ඇල්බෙනියානුවන් පාලනය කල යුතු බවට ප්‍රකාශයන් නිකුත්වුනා. සර්බියානු ජාතිවාදින් කුල්මත් කල මේ ප්‍රකාශයන් නිසා මිලොසොවිච් සර්බියාව තුල ජනප්‍රියම පුද්ගයකු බවට පත්වනවා.  සර්බියානු මූලික යුගෝස්ලාවියානු නව රැල්ල මිලෝසොවිච් ව කොමියුනිස්ට් ලීගයේ සර්බියානු ශාඛාවේ සබාපතිද පසුකාලිනව සර්බියානු ජනාධිපති පුටුවේ පිහිටුවීමට සමත්වනවා. 

මිලෝසොවිච් විසින් තම පාක්ෂිකයන් යොදාගෙන පලමුව වොයෙවොඩිනාව පාලනතන්ත්‍රය තමන් සතු කරගන්නවා.ඉනික්බිති යාබද මොන්ටිනිග්‍රෝවේද අවසානයේ ආයාසයකින් යුතුව කොසොවෝ හීද තම අණසක පතුරවනවා.


ස්ලෝවෙනියාව හා ක්‍රොඒෂියාව
ජනරජ සැලැස්ම අනුව ස්ලොවෙනියාව පිහිටන්නේ වඩාත් උතුරින්. ස්ලොවෙනියාව හා සර්බියාව බාධකයක් ලෙස  ක්‍රොඒෂියාව පිහිටනවා. සර්බියාව ගෙනයන ක්‍රියාදාමයේ ඊලග ගොදුරු බවට තමන් පත්වන බව මේ ජනරජ දෙකම දැන සිටියා. ඔවුන් ඒ සදහා සුදානම් වුවා. 

1990 දී රැස්වන යුගොස්ලාවියා කොමියුනිස්ට් ලීග‍යේ 14 වැනි සමුලුව  වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරනවා. මෙම සමුලුවේදි ස්ලොවෙනියානු හා ක්‍රොඇට් නියෝජිතයන් ප්‍රතිසංස්කරණවාදි යෝජනා ඉදිරිපත් කලද ඒවාට සුබවාදි ප්‍රතිචාරයන් සමුලුව තුලදි නොලැබේ. 

තමන්ට එල්ලවන ආසාධාරණකම් වලට එදිරිව නැගිසිටින ස්ලොවෙනියානුවන් හා ක්‍රොඇට්වරුන් සමුලුවෙන් නැගිට ඉවත්ව යනවා. මෙය යුගොස්ලාවියාවේ ඒක පක්ෂ ක්‍රමයේ අවසානය වන අතර ජනරජයන් වෙන වෙනම පක්ෂ පිහිටුවාගනිමින් බහු පක්ෂ ක්‍රමයකට මුල පුරනවා. එමෙන්ම පලමු වරට ජනරජයන්ගේ මැතිවරණද පැවැත්වෙනවා.

ස්ලොවෙනියාව තම ජනරජයේ ස්වාධිනත්වය වෙනුවෙන් ජනමත විචාරණයක් පවත්වන අතර අතිමහත් බහුතරය පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනවා. ක්‍රොඒෂියාවේ ජනමත විචාරණයේ තත්ත්වයද එයමයි.

ඒ අනුව 1991 මැද භාගයේදි ස්ලොවෙනියාව හා ක්‍රොඒෂියාව තම රාජ්‍ය වල නිදහස ප්‍රකාශයට පත්කරනවා. මෙයට එදිරිව ක්‍රියාකල යුතු බවට යුගොස්ලාවියානු රාජ්‍ය මණ්ඩලයට ගෙනඑනු බලන යෝජනා ප්‍රකාරව ස්ලොවෙනියානු ආරක්ෂයන්ට විරුද්දව යුගොස්ලාවියානු හමුදාව යුද්ධ ප්‍රකාශ කරනවා. මෙය දස දින යුද්ධය ලෙස හැදින්වෙන මෙය යුගොස්ලාවියානු යුද්ධ වල ආරම්භයයි. අන්තර්ජාතික මැදිහත් වීම මත තත්ත්වය සමතයකට පත්කරගැනිමට හැකියව ලැබෙනවා. ස්ලොවෙනියාව සවෛරී පාලනයක් අත්කරගන්නවා.

ක්‍රොඒෂියාවේ ද නිදහස ප්‍රකාශයත් සමග එරට රජය හා සර්බියානු කණ්ඩායම් අතර වාර්ගික ගැටුම් ඇතිවනවා. පසුව යුගොස්ලාවියානු හමුදාද ක්‍රොඒෂියානු ගැටුම් හා සම්බන්ද විම අර්බුධය ත්‍රිවෘ කරන්නක්. සමූලඝාතයන් ද සිදුවන වසර ගනනාවක් ඇදීයන මෙම ගැටුම් අවසානයේ ලේ වැගිරිම් මතින් ක්‍රොඒෂියාවට තම නිදහස ලබාගැනිමට හැකියාව ලැබෙනවා.


බොස්නියා හර්සගොවිනා අර්බුදය
යුගෝලාවියාව අර්බුදයේ ඉතාම ඛේදනිය  ප්‍ර්‍යත්නයක් ලෙස බොස්නියා  හැදින්විය හැකියි. අන් ජනරජයන්ට සාපෙක්ෂ බොස්නියා-හර්සෙගොවිනා හී ජනවර්ග විවිධත්වය මෙයට බලපෑවා.ඉහල මුස්ලිම් ජනගහනය සිටි අතර සර්බිවරුන් හා ක්‍රොඇට් පිරිස් සුලු නියෝජනයක් පෙන්වූවා. 

බොස්නියාව තම නිදහස වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වූ අතර ප්‍රතිපලය පෙර සිද්ධින්වල ප්‍රතිපලයමයි. නමුදු සර්බියාව මේ අවස්ථාවේදිද බොස්නියාව වෙන්වීම ට විරුද්ධව කටයුතු කරන්නට වුනා.

මිලොසොවිච් මේ අවස්ථාවේදි සෘජුවම යුගොස්ලාවියානු හමුදා යෙදවිම පෙර යුගොස්ලාවියානු හමුදාවේ සිටි සර්බියානු සෙබලුන් ව බොස්නියාවට අනුයුක්ත කිරිම සිදුකලා.  එයින් බොස්නියානු සර්බිවරුන් හට අමතර සහයක් ලබාදිමේ අරමුණනි.


අඩන්න හිටි මිනිසාට ඇගිල්ලේන් ඇන්නා සේ බොස්නියාවේ වාර්ගික ගැටුම් ඇතිවෙන්නේ විවාහා මංගල උත්සවයකදි මුස්ලිම් ජාතිකයෙක් විසින් සර්බියානුවකුට වෙඩිතැබිමත් සමගයි. ඊට ප්‍රතිප්‍රහාර ලෙස පසුදාම බොස්නියාවේ සර්බියානුවන් එකමුතුව මුස්ලිම්වරුන්ට එදිරිව ක්‍රියාකරන්නට ගන්නවා. ක්‍රොඇට්වරුන්ද ගැටුමට එක්විමත් සමග බොස්නියාව තුල තුන්කොන් ගැටුමක් අැතිවෙනවා.

හමුදා සර්බියානු දේශසිමාවේ සිට බොස්නියාවට තුලට ප්‍රහාර එල්ල කරමින් ඇදෙන අතර බොස්නියාවේ සර්බි එකමුතුව අභ්‍යන්තර කැරැලි මගින් ප්‍රදේශ අත්පත් කරගැනිමට උත්සහ කරනවා.

එක්සත් ජාතින්ගේ සරනාගත එජන්සියේ ජෝසේ මරියා සදහන් කරන ආකාරයට, සර්බි හමුදා ප්‍රහාර හමුවේ මියගිය බොස්නියානුවන් විශාල ට්‍රක්රථ පුරවා ප්‍රවාහණය කරන බව පවසා ඇත. එමෙන්ම ඔහු ගමන් කල රථයක් මාර්ගයේ තිබු ලේ නිසා ලිස්සා ගොස් ඇති බවද පැවසේ.


ම්ලැඩික්

සර්බි හමුදා වෙත අණදීම සදහා ජෙනරාල් රැට්කෝ ම්ලැඩික් පත්වෙනවා. ම්ලැඩික් බොස්නියාව තුල කෘර අන්දමින් කටයුතු කල බවට සාක්ෂි සහිත හඩපට බොහෝමයක් සහිතයි.


ජෙනරල් ම්ලැඩික් හා කර්නල් වුකාෂිනොව් අතර වරක් සිදුවු සංවාදයක් පහතින් දැක්වේ.



ඔහුගේ මෙහෙයවීමෙන් මුස්ලිම්වරුන් ට එදිරිව ඉලක්කගත  ප්‍රහාර, ස්ත්‍රි දූෂණ මෙන්ම සෙබ්‍රෙනිත්සා ජනඝාතනය වැනි දරුණු සමූලඝාතනයන්ද සිදුකර තිබෙනවා. සෙබ්‍රෙනිත්සා හීදි 7000කට අධික බොස්නියානු මුස්ලිම්වරුන්, සර්බියානුවන් අතින් ඝාතනයට ලක්වීම දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මානව වර්ගයට එල්ල වූ දරුණුතම ප්‍රහාරයක් ලෙස හැදින්වෙනවා.


ගොඩගත් සිරුරු සමහරක්

ස්මාරක

සමූහ මිනිවල කැණිම


පසුකාලිනව අත්අඩංගුවට පත්වන ම්ලැඩික් ජාත්‍යන්තර අධිකරණයේ නඩුවිභාගයකින් වැරදිකරුව ජිවිතාන්තය දක්වා සිරදඩුවම් ලබනවා.

වසර කිහිපයක් ඇදියන බොස්නියා යුද්ධය ජාත්‍යන්තර මැදිහත්විමෙන්ද සිදුවු  සාකච්ඡා වට ගනනාවකින් පසුව සමතයකට පැමිණෙනවා. ඒ වන විට බොස්නියාව තුල සර්බියානු පක්ෂ පාලන ප්‍රදේශයක්ද (ස්පාර්කා ජනරජය) හා ක්‍රොඇට් පාලන ප්‍රදේශද වෙන්ව අවසන්. මේ සියල්ලම පරයා දහස් සංඛ්‍යාත ජනයා තම ජිවිතයට හැරගොසින්. 

මැසඩෝනියාව 


යුගොස්ලාවියාවෙන් සාමකාමිව වෙන්විමට මැසඩෝනියාව සමත්වෙනවා. ජනමත විචාරනයක් මගින් 95% ක ඡන්ද අරන් රහසේම නොකියාම නිදහස ප්‍රකාශ කරනවා.


21 වැනි සියවසේදි යුගොස්ලාවියාව
යුගොස්ලාවියොවේ දැන් ඉතිරි ව ඇත්තේ  මොන්ටිනිග්‍රෝ හා සර්බියාව විතරයි. මේ දෙක එකතු වෙලා යුගොස්ලෝවියාව පවත්වාගෙන ගියා.

2000 වසරේදි මිලෝසෙවිච් ගේ පාලනය අවසන් වෙනවා. පසුව අත්අඩංගුවට පත්වන මිලෝසෙවිච් හට දූෂණ චෝදනා බලය අපහරණය වැනි චෝදනා සර්බියාව තුලින්ම එල්ල වෙනවා.  පසුව ඔහුට එදිරිව කොසොවෝ බොස්නියාව හා ක්‍රොඒෂියාව තුල යුධ අපරාධ චෝදනා එල්ල වන අතර ජාත්‍යන්තර අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙනවා. නමුදු නඩුව පැවැත්වෙන අතරතුර 2006 දී  හේග් නුවර ජාත්‍යන්තර අධිකරණ සිරගෙදර මැදිරියකදි ජිවිතක්ෂයට පත්වෙනවා.

2006 වසරේදි මොන්ටිනිග්‍රෝව ද තම වෙන්වීම ප්‍රකාශයට පත්කිරිමත් සමග ලෝක සිතියමේ යුගොස්ලාවියානු ශේෂය මැකියමින්  යුගොස්ලාවියාව නෂ්ඨ වූ රාජ්‍ය ගොන්නට එක් කරනවා.




කොසොවෝ ද ජනමත විචාරණයකින් පසු ස්වාධිනත්වය ලබාගැනිමට ප්‍ර්‍යත්න දැරු අතර ජාත්‍යන්තර රාජ්‍ය සමහරක් කොසෝවෝ ස්වාධින රාජ්‍යයක් ලෙස පිලිගනි.

යුරෝපය අදටද අස්ථාවරයි. පොඩි කම්පනයකින් තවත් රටවල් බෙදෙන්න හැකියාව තියෙනවා.

-රොෂින් ප්‍රනාන්දු

2 comments:

  1. කාලෙකට පස්සේ ආයෙම හොද හරවත් ලිපි පෙළක්.....

    (පරණ හි.ත. අලුත් - වස්තු කතා. මං හිතනවා මතක ඇති කියල ඩොක්ටර්ට මාව)

    ReplyDelete
  2. එක වෙලාවේ අපි දෙන්නටම එකම අදහස පහළ වුණු එක පුදුමයක්. දේශපාලනික පැත්ත ඔබ අතින් ලියවීම වටිනවා. මට ලියන්න ඕනේ වුණේ පාපන්දු ක්‍රීඩාව පැත්තෙන්. බොහෝ දෙනෙක් හිතන්නේ මේ රටවල් ටික රුසියාවෙන් බෙදුණු ඒවා කියළා. බොහොම ස්තුතියි සබැඳියාව දුන්නට.

    ReplyDelete