Wednesday, July 11, 2018

හෙලිකොප්ටරයේ වලිග පෙත්ත

හෙලිකොප්ටරයක ප්‍රධාන කැරකෙන පෙත්තට/රොටරයට අමතරව වල්ගයේද 
කුඩා කැරකෙන පෙත්තක්(tail rotor) ඇති බව.
මෙහි කාර්යය කුමක්ද?




හෙලිකොප්ටර් යානාවක් ගුවනට එසවිම සදහා ප්‍රධාන රොටරය (Main rotor) ඉවහල් වේ. ප්‍රධාන රොටරයේ තටු භ්‍රමණය විම මගින්  වාතය පහලට තෙරපිම නිසා තල දෙපස ඇතිවන පීඩන අන්තරයේ උපකාරයෙන් හෙලිකොප්ටරය ඉහල නගි.

නමුදු මේ අවස්ථාවේදි ගැටලුවක් පැණ නගි.

හෙලිකොප්ටරයේ ප්‍රධාන රොටරයේ තටු වාමාවර්තව කැරකෙන විට ව්‍යාවර්තයේ බලපැම මත හෙලිකොප්ටර් බද (fuselage) දක්ෂිණාවර්තව කැරකිමට පටන් ගනි. නියුටන් ගේ තුන්වන නියමය අනුව සැම ක්‍රියාවකට සමාන වූත් විරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත. මෙහිදි හෙලිකොප්ටර් බද මතද එම ප්‍රතික්‍රියාවම සිදුවේ. 

මෙසේ හෙලිකොප්ටර් බද කැරකිමට ගතහොත්, හෙලිකොප්ටරය පාලනය කරගැනිමට අපහසුය.




එබැවින් අනිසි ක්‍රියාව වලක්වා ගැනිමට  හෙලිකොප්ටර්වල පිටුපස අන්තයට වන්නට සිරස් තලයක භ්‍රමණය වන කුඩා රොටරයක්(tail rotor) යොදවයි.



කුඩා රොටරය භ්‍රමණය විමෙන් ප්‍රධාන රොටරය මගින් ඇතිකරන ව්‍යාවර්තයට ප්‍රතිවිරුද්ද ව්‍යාවාර්තයක් ඇතිකරයි.  කුඩා රොටරය, හෙලිකොප්ටරයේ අන්තයේ පිහිටිමත් යානාවේ ගුරුත්ව කේන්ද්‍රයට ඇති දුරත් හේතුකොටගෙන ප්‍රමාණවත් තරම් තෙරපුමක් ලබාගැනිමට ඉවහල් වේ.

මෙම ප්‍රතිව්‍යාවර්තය මගින් හෙලිකොප්ටර් බදේ භ්‍රමණය අඩාල කරයි. මෙය ගුවනේදි හෙලිකොප්ටරය සිරස් අක්ෂයේ ස්ථායිව තබාගැනිමට උපකාරි වේ. 

කුඩා රොටරයේ වේගය පාලනය කිරිම මගින් පියාසැරියේදි  හෙලිකොප්ටරයේ සිරස් අක්ෂය වටා භ්‍රමණයන් පාලනය කිරිමට උපකාරි වේ.ඒ උපකාරයෙන් නියමුවාට ගමන්මාර්ගය සකසා ගැනිමට ද හැකියාව ඇත.

ඒ අනුව කුඩා රොටරය තිබිමේ අභිප්‍රායන් නම්,
ප්‍රධාන රොටරයේ බලපෑමෙන් හෙලිකොප්ටර් බද අනිසි ලෙස භ්‍රමණය වීම වැලැක්විම
පියාසැරියේදි හෙලිකොප්ටරයේ ධාවන දිශාව පාලනය කිරිමයි.

නමුදු වර්තමානය වන විට ටේල් රොටරය රහිත හෙලිකොප්ටර්ද නිපදවයි.  එහිදි හෙලිකොප්ටර් වල පිටුපස අන්තයෙන්  වාත කදක් නිකුත් කිරිම මගින් ටේල් රොටරයේ ක්‍රියාවම ඉටුකර ගනි. 




- රොෂින් ප්‍රනාන්දු 

1 comment: