Wednesday, March 1, 2017

ජර්මනියට ඇන්ත්‍රෑක්ස් කේක් කවන්න හදපු හැටි

 ‘‘ඇන්ත්‍රැක්ස්‘‘ ගැන මිතුරන් අහලා ඇති. 
දෙවැනි ලෝක යුද්ධයේ බිහිසුනු කතා කිප වරක්ම අපි කතා කලා.
මේ කියන්න යන්නේ දෙවැනි ලෝක යුද්ධයේදි ජර්මනියට ඇන්ත්‍රෑක්ස් කේක් කවන්න හදපු අවස්ථාවක් ගැන.






 Bacillus anthracis කියන බැක්ටිරියාව හේතුකොට තමයි ඇන්ත්‍රැක්ස් හැදෙන්නේ. සාමාන්‍යෙයෙන් ඇන්ත්‍රැක්ස් හැදෙන්නේ ගවයන්ට අශ්වයන්ට බැටලුවන්ට වගේ සත්තුන්ට. ඇන්ත්‍රැක්ස් මිනිසාටත් ආසාධිත සත්තවයන්ගෙන් හා නිෂ්පාදන වලින් සම්ප්‍රේෂණය වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් මිනිසකුගෙන් මිනිසකුට බෝ වෙන්නේ නැ. මූලිකව සමේ කලු තුවාල ඇතිවෙනවා. ඇන්ත්‍රැක්ස් කියන්නේ ජිවිත අවධානමක් තියන ලෙඩක්. 




ඇන්ත්‍රැක්ස් ජීව අවියක් ලෙස භාවිතා වන නිසා ජිව අවි ප්‍රහරයක් හෝ ත්‍රස්ථ ප්‍රහාරයක් නිසා පැතිරෙන්නත් පුලුවන්.  කාලෙකට කලින් ඇමරිකාවට ඇන්ත්‍රැක්ස් සහිත ලියුම් කිහිපයක් ඇවිත් කලබගැනියක් වුනානේ.   

දෙවැනි ලෝක යුද්ධයේදි අක්ෂ පක්ෂය හා මිත්‍ර පක්ෂය අතර යුද්ධය දිනන්න දැඩි සටනක් තිබ්බේ. කොහොමින් හරි දිනන්න ඕනා කමක් දෙපැත්තටම තිබ්බා. අද කොච්චර මානව හිමිකම් ගැන පම්පෝරි ගැහුවත් එදා තත්ත්වය වෙනස්.





බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයට අයත්ව ග්‍රිනාඩ් දූපත  (Gruinard Island) පිහිටා තිබෙනවා. මේ දුපත ජනශූණ්‍ය පාළු දූපතක්. 

බ්‍රිතාන්‍ය ක්ෂුද්‍රජීව විද්‍යාඥයින් විසින් ජිව අවි සම්බන්ද පරික්ෂණ සිදුකිරිම සදහා ග්‍රිනාඩ් දූපත යොදාගත්තා. විශේෂයෙන්ම ඇන්ත්‍රැක්ස් බැක්ටිරියාව ආශ්‍රිත පරික්ෂණ විශාල සංඛ්‍යාවක් සිදුකලා. බැටලුවන් වැනි සතුන් විශාල ප්‍රමාණයක් දූපත රැගෙනවිත්, සතුන් ඇන්ත්‍රැක්ස් වලට නිරාවරණය කරමින් පරික්ෂණ විශාල සංඛ්‍යාවක් සිදුකලා. මේ පරික්ෂණ හේතුවෙන් සත්ත්වයින් සැලකිය යුතු පිරිසක් ජිවිතක්ෂණයට පත්වූ අතර ග්‍රිනාඩ් දූපත සත්ත්වයන්ට හා මිනිසුන්ට වාසයට නුසුදුසු තැනක් බවට පත්වූනා. මේ නිසා ග්‍රිනාඩ් දූපත, ඇන්ත්‍රැක්ස් දූපත ලෙසත් ප්‍රසිද්ධයි.





ජර්මනියට එරෙහි යුද්ධය කෙසේ හෝ ජයගැනිමේ අරමුණින් ජර්මණියට ජිව අවි ප්‍රහාරයක් එල්ල කිරිමට බ්‍රිතාන්‍ය හමුදා විසින් සැලසුමක් සකස් කලා. මෙම මෙහෙයුම Operation Vegetarian ලෙස හදුන්වනවා.

ඇන්ත්‍රැක්ස් බැක්ටිරියා බීජාණු අඩංගු හණ ඇට වලින් සැදු කුඩා කේක්, ජර්මනියේ ගොවිබිම් වල පතුරවා හැරිම බ්‍රිතාන්‍යය ඉලක්කය වුනා. මෙම ආහාර පරිභෝජනයෙන් ජර්මනියේ ගවයන් ආසාධනය වෙනවා. ආසාධිත ගවයන්ගේ ආහාර පරිභෝජනය නිසා ජර්මනිය තුල ඇන්ත්‍රැක්ස් පැතිර යනවා. මේ නිසා සැලකිය යුතු පිරිසක් ජිවිතක්ෂයට පත්වන අතර ජර්මනියේ ගවයින් බහුතරයක් විනාශ වෙනවා. ආසාධනයෙන් බේරෙන මිනිසුන්ට ද ආහාර නැතිවෙනවා. කොතරම් මිලේච්ඡ සැලැස්මක්ද?


පරික්ෂණ වලදි මියගිය සතුන් ඉවත්කරන අන්දම

මෙහෙයුමට අවැසි ඇන්ත්‍රැක්ස් බිජාණු සහිත කේක් ග්‍රිනාඩ් දූපතේදි පරික්ෂණයට බදුන් කලා. මෙහෙයුම සදහා මිලියන 5 ක පමන කේක් නිෂ්පාදනය කර තිබුනා.   මේ පරික්ෂණ නිසා දූපත මිනිසුන්ට තහනම් දූපතක් වුනා.





ලෝකයේම වාසනාවට  Operation Vegetarian  ක්‍රියාත්මක වුයේ නැ. මෙහෙයුම වෙනුවෙන් සෑදු කේක් මිලියන 5 පමණ ප්‍රමාණය විනාශ කර දමනු ලැබුවා.  Operation Vegetarian බැරිවෙලාවත් ක්‍රියාත්මක වුනානම්, යුරෝපයම දැඩි අර්බුදයකට මුහුණ දෙනවා.

දීර්ඝ කාලයක් තහනම් දූපතක් ලෙස පැවැති ග්‍රිනාඩ් දූපත 1990 දි පමණ පවිත්‍ර  කිරිම සිදුකලා. පවිත්‍ර කලද තවමත් මේ දූපත, ජනශූණ්‍ය පාළු දූපතක්. 

විද්‍යාව කියන්නේ පිහියක් වගේ. 
පිහියෙන් පාන් කපන්න පුලුවන්,
ඒ වගේම බෙල්ල කපන්නත් පුලුවන්....

- රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය
         
      

No comments:

Post a Comment