Tuesday, January 17, 2017

මොසාඩ් සංවිධානයේ වැරදුනු කුරුමාණම

ලොව බලවත් රහස් සංවිධානයක් වන ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය ගැන අහලා ඇතිනේ.
සාර්ථක ලෙස රහස් මෙහෙයුම් දියත් කිරිම ගැන මොසාඩ් ප්‍රසිද්ධයි.
නමුත් මේ කියන්න යන්නේ මොසාඩ් එකට වැරදුනු ඝාතන උත්සහයක් ගැනයි







කාලෙඩ් මාශල් (Khaled Mashal) පලස්තීන දේශපාලඥයෙක් වගේම හමාස් සංවිධානයේ නායකයෙක්. ඊශ්‍රායලය හා පලස්තිනය අතර තියන ගැටුම ගැන ඔයාලා අහලා ඇතිනේ. 

 1997 වසරේද ඊශ්‍රායලයේ  ජෙරුසෙලමේ වෙලදපොලකට හමාස් සංවිධානය විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. මේ ප්‍රහාරයෙන් 16 දෙනකු ජිවිතක්ෂණයට පත්වන අතර සැලකිය යුතු පිරිසක් තුවාල ලබනවා.

ඒ වනවිට මාෂල්, හමාස් ජෝර්දාන ශාඛාවේ ප්‍රධානියා ලෙස කටයුතු කලා.  මේ ප්‍රහාරය සදහා ඔහුගේත් සම්බන්දය ඇති බව කියවුනා.

එවකට මෙන්ද අදත් ඊශ්‍රායලයේ අගමැති වන බෙන්ජමින් නෙතන්යාහූ විසින් මොසාඩ් සංවිධානයට නියෝග කරනවා කාලෙඩ් මාෂල්ව ඝාතනය කරන ලෙසට. 

නෙතන්යාහූ


ඒ අනුව මොසාඩ් සංවිධානයේ නියෝජිතයින් දෙදෙනකු කැනේඩියානු ගමන් බලපත්‍ර භාවිතාකරමින් ජොර්දානයට යනවා. ඔවුන්ගේ ඉලක්කය කාලේඩ් මාෂල්ව ඝාතනය කිරිම. ඝාතන උපක්‍රමය ලෙස ඔවුන් භාවිතා කරන්නේ විෂ ශරිර ගත කිරිමයි.

මේ රහස් නියෝජිතයින් දෙපල අම්මාන් නුවර මාෂල් ගේ කාර්යාලය අවට ලැගුම් ගන්නවා. 

දිනක් උදැසන අම්මාන් කාර්යාලය අසල නියෝජිතයින් දෙදෙනා රැදි සිටින්නේ මාෂල් කාර්යාලයට එන තුරුයි. කාර්යාලයට ඇතුල් වන අවස්ථාවේදි මාෂල් ගේ සිරුරට විෂ ඇතුල් කිරිම ඔවුන්ගේ අරමුනයි.

මේ බව නොදත්, මාෂල් වෙනදා මෙන් තම කාර්යාලයට එනවා. කාර්යාලය අසල රැක සිටින නියෝජිතයින් දෙදෙනා මාෂල් ගේ වම් කන තුලට විෂ ඇතුල් කරනවා. නියෝජිතයින් දෙදෙනා පලායාමට උත්සහ කලත් මාෂල් ගේ ආරක්ෂකයින් විසින් මොසාඩ් නියෝජිතයින් දෙදෙනා අල්ලාගනු ලබනවා.

විෂ ශරිර ගත වීම නිසා මාෂල් කෝමා තත්තවයට පත්වෙනවා.


හුසේන් රජු


මෙම ඝාතන කුමන්ත්‍රණය මොසාඩ් සංවිධානයේ සැලසුමක් බවට හෙලිවිමත් සමග, ජෝර්දාන රජු වූ හුසේන් රජතුමා ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමතමින් මොසාඩ් සිදුකල ක්‍රියාව හෙලා දකිනවා. එමෙන්ම මාෂල් සුවකිරිම සදහා ප්‍රතිවිෂ ඉල්ලා සිටිනවා.

මුල් අවස්ථා වලදි නෙතන්යාහු විසින් ප්‍රතිවිෂ ලබාදීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් මෙම සිද්ධිය නිසා ජෝර්දානය හා  ඊශ්‍රායලය අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව උපදේකයින් පෙන්වා දුන්නා. එමෙන්ම මාෂල් මියගියහොත්, ජොර්දාන - ඊශ්‍රායල සාම ගිවිසුම බලරහිත කරන බවට හුසේන් රජු අනතුරු අගවා සිටියා.

ඒ අනුව නෙතන්යාහු ගේ නියෝගයකට අනුව මොසාඩ් සංවිධානයේ එවකට ප්‍රධානි ‘‘ඩැනි යතොම්‘‘ ප්‍රතිවිෂ රැගෙන ජෝර්දානය වෙත ගමන් කලා. මෙම ප්‍රතිවිෂ ආධාරයෙන් කාලෙඩ් මාෂල් සුවය ලැබුවා.

අත්අඩංගුවට ගත් මොසාඩ් නියෝජිතයින් දෙදෙනා සිරකරුවන් හුවමාරු කිරිමේ එකගතාව මත නැවත ඊශ්‍රායලට පිටත්කර හරිනු ලැබුවා.

ගුවන්යානා පැහැර ගැනිම්, මියුනිච් හිදි ඊශ්‍රායල ක්‍රිඩකයන් ඝාතනය කල සැකකරුවන් සොයා සිදුකල වසර ගනනාවක රහසිගත මෙහෙයුම වැනි ප්‍රබල මෙහෙයුම් මොසාඩ් සංවිධානය සිදුකර තිබෙනවා. ඔවුන්ට වැරදි ගිය මෙන්ම කීර්ති නාමයට කැලලක් එක්කල අවස්ථාවක් ලෙස කාලෙඩ් මාෂල් ඝාතන කුමන්ත්‍රණය හැදින්විය හැකියි.

හුසේන් රජතුමාගේ මියයැමෙන් පසු රජකමට පත්වූ දෙවැනි අබ්දුල්ලා රජතුමා විසින් 1999 වසරේදි හමාස් සංවිධානය, ජෝර්දානය තුල තහනම් කරනු ලැබුවා.

එමෙන්ම මෙම ලිපිය ‘‘ජනේලය‘‘ හී පලවූ   150 වන ලිපියයි.
ලිපි 150 ක් දක්වා මේ ගමන එන්න ධෛර්ය ලබාදුන්නේ ඔබයි.
ඔබේ යෝජනා චෝදනා අදහස් ජනේලයේ ඉදිරිගමනට ඉතාමත් වැදගත්.

  


- රොෂීන් ප්‍රනාන්දු
             


3 comments: