Tuesday, January 3, 2017

පුංචි පැලට වින කටින ඇස්බැස්ටෝස්

ඉස්සර නම් ගෙදර වහලක් සෙවිලි කරන්න භාවිතා කලේ උළු.
 අතරින් පතරින් තමයි ඇස්බැස්ටෝස් වහලක් දකින්න පුලුවන් උනේ. 
අද කාලේ නම් දකින දකින හැම තැනම තියෙන්නේ ඇස්බැස්ටෝස් තමයි. ඇස්බැස්ටොස් ලාබයි.
 ලාබ ඇස්බැස්ටෝස් එක්ක ලාබෙට ලෙඩත් ගෙදරට එනවා.






2018 වසරේ සිට ලංකාවට ඇස්බැස්ටෝස් ආනයනය සිමා කරන්න වගේම 2024 දි ඇස්බැස්ටෝස් තහනම් කරන්නත් දැනට රජය තිරණය කරලා තියනවා. කාලයක් තිස්සේ අපිව වැස්සෙන් ආරක්ෂා කරපු ඇස්බැස්ටෝස් ඇයි තහනම් කරන්නේ? ඔයාලාට හිතෙනවාත් ඇති.



ඇස්බැස්ටෝස් කියන්නේ ස්වාභාවික ඛනිජ වර්ග 6ක් හදුන්වන පොදු නමකට. මෙම ඛනිජ වල සිලිකේට් අන්තර්ගත වෙනවා.

එම ඛනිජ වර්ග 6 නම්,

  1. Chrysotile (සුදු ඇස්බැස්ටෝස්)
  2. Crocidolite (නිල් ඇස්බැස්ටෝස්)
  3. amosite
  4. tremolite
  5. anthophyllite
  6. actinolite


ඇස්බැස්ටෝස් ගැන හොයාගෙන යද්දි, අවුරුදු 4500 පමණ පෙරදි සිට භාවිතා කලා කියලා සදහන් වෙනවා. ඇස්බැස්ටෝස් පිලිබදව මුල්ම හැදින්වීමක් දෙන්නේ ඇරිස්ටෝටල් ගේ අනුප්‍රාප්තිකයා වෙච්ච තියෝපැට්‍රිස් විසින්. එයා තමයි ජිව විද්‍යාෙව්දි ඉගෙන ගන්න ‘‘පදුරු පැලැටි‘‘ වර්ගිකරණය හදුන්වා දෙන්නේ.  

‘‘ ශක්තිමත්, තද, නොනැමෙන සුලු, ගිනි නොගන්නා ගල් වර්ගයක්‘‘ යැයි තියෝ විසින් ඇස්බැස්ටෝස් හදුවන්වා දෙනවා.

ලෝකේ තැනින් තැන සුලු සුලුවෙන් භාවිතා වෙච්ච ඇස්බැස්ටෝස් මහා පරිමාණයෙන් ලෝ පුරා ව්‍යාප්ත විම ආරම්භ වෙන්නේ කාර්මික විප්ලය සමගයි. ඇමරිකාව, රැසියාව ආශ්‍රිතව සොයාගන්නා මහා අැස්බැස්ටෝස් නිධි හේතුකොට ගෙන ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන කරලියට එනවා. 

ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු, ටයිල් වර්ග, පයිප්ප, තාප පරිවාරක, ශබ්ද පරිවාරක, බ්‍රේක් පෑඩ් වැනි නිෂ්පාදන ඒ අනුව නිපදවෙනවා. ගොඩනැගිලි කර්මාන්තය ලාබදායි කර්මාන්තයක් වෙන්න ඇස්බැස්ටෝස් බලපෑවා.

නමුත් ඇස්බැස්ටොස් වල මාරක අන්තරාව ගැන දැනගන්නත් වැඩිකලක් ගත වුනේ නැ.

ඇස්බැස්ටෝස් නිධි ආශ්‍රිතව අසාමාන්‍ය මරණ හා පෙනහලු රෝග වර්තා වීම වැඩි වුනා. එමෙන්ම ඇස්බැස්ටෝස් කර්මාන්ත ශාලා ආශ්‍රිතවද මෙම තත්ත්වය පෙන්නුම් කලා.

කුඩා කෙදි

ඇස්බැස්ටෝස් වල අන්තර්ගත ඉතා කුඩා කෙදි, ස්වසනය මගින් ශරිර ගත වෙනවා. මේ ඉතා කුඩා කෙදි හරියට ඇල්පෙනිති වගේ. මෙසේ  ස්වසන මාර්ගයේ හා පෙනහලු කරා ගමන් කරන කෙදි විනාශ කරන්නට අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය උත්සහ කරනවා. නමුත් ඒක කරන්න බැ. අන්තිමේදි පෙනහලු තුල තැම්පත් වන කෙදි වටා තන්තු පටකය ඇතිවෙනවා. ඒ හේතුවෙන් පෙනහලු වලට නිසි ලෙස වැඩ කරන්න බැරි වෙනවා.

ශරිර ගතවූ කෙන්දක්

ඇස්බැස්ටෝස් හේතුකොට ගෙන ඇතිවෙන රෝග මෙසේ දක්වන්න පුලුවන්.
  • පෙනහලු පිලිකා
  • Asbestosis
  • Mesothelioma

දැනට ඉහත සදහන් කල සියලුම ඇස්බැස්ටෝස් ඛනිජ වර්ග පිළිකාකාරක  ලෙස පිලිගන්නවා. ඒ හේතුවෙන් ලොව පුරා රටවල්, ඇස්බැස්ටෝස් ආනයනය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්දව දැඩි නිති පනවලා තියනවා. ඇස්බැස්ටෝස් හෙවිලිකල නිවසක් කඩා ඉවත් කරන්න පවා දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්න වෙනවා.

ශ්‍රි ලංකාව තුල බෝ නොවන රෝග, විශේෂයෙන්ම පිළිකා තත්ත්ව වාර්තා වීම ඉහල යන තත්ත්වයක් තුල ඇස්බැස්ටෝස් තහනම් කිරිම සාධනිය පියවරක්.  

නමුත් ඇස්බැස්ටෝස් තහනම් කිරිමට ලක් රජය ගත් තීරණය ගැන නැවත සලකා බලන්න කියලා ලොව ප්‍රධාන ඇස්බැස්ටොස් නිෂ්පාදකයන් වන රුසියාව වගේ රටවල් ඉල්ලිම් කරලා තියනවා කියලා අහන්න ලැබුනා.

රැපියල් සත ගැන නොහිතා අපේ රටේ මිනිස්සුන්ගේ හෙට දවස ගැන හොද තිරණයක් ගනිවි යැයි අපි බලා සිටිමු.

- රොෂීන් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය 

No comments:

Post a Comment